බුදුදහම ප්‍රංශයෙන් ගෙනා ශ්‍රීලාංකීක වර්ණවාදියා

බුදුදහම ප්‍රංශයෙන් ගෙනා ශ්‍රීලාංකීක වර්ණවාදියා

ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික සිත්තරෙ වන මහින්ද හේරත්ගේ චිත්‍ර, මූර්ති හා ස්ථාපන ප්‍රදර්ශනය 'දාර්ශනික මතක' අගෝස්තු 06 දින ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි ප.ව. 6.00ට විවෘත වන අතර එය 10-11 දෙදින ද රසිකයන් සඳහා විවෘතව පවතී. චිත්‍ර ප්‍රදර්ශනය ගැන හා සමකාලීන කලා ප්‍රවණතා ගැන සිත්තර මහින්ද දැක්වූ අදහස් මෙසේය.

වර්ණ උත්කෘෂ්ටත්වය නැංවූ ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙක්ගේ ප්‍රදර්ශනයක් මේ දිනවල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දි පැවැත් වේ. මහින්ද හේරත් සිත්තරා හැඳින්විය හැක්කේ සංස්කෘතීන් දෙකක සංකලනයක් ලෙසය එම සම්මිශ්‍රණය ඔහුගේ නිර්මාණ තුළ ද දැක ගත හැකිය.

අප එසේ හැඳින් වුවද මහින්ද එම නාමකරණය පිළි නොගනියි. චිත්‍ර ශිල්පියෙක් යුරෝපයේ හෝ ඇමෙරිකාව් ජීවත් වෙමින් එරට ජීවත් වන රසිකයන් සඳහා සිය නිර්මාණ බිහි කළ ද ජන්ම අනන්‍යතාව නැති කර ගතහොත් පැවැත්මක් නැති වන්නේය යන්න හේ දැඩිව විශ්වාස කරයි.

"එහේ මිනිස්සු අපේ චිත්‍ර බලන්න එන්නේ යූරෝපීය චිත්‍ර ශිල්පියෙක්ගෙ නිර්මාණ දකින්න එනවා කියන අදහසින් නොවයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආසියානු හැඩ හා තේමා" මේ සංස්කෘතීන් දෙකකට මැදිව අනන්‍යතාව රැකගැනීම පිළිබඳ මහින්දගේ හඬය

මහින්ද හේරත්ගේ "Philosophical Memoirs" (දාර්ශනික මතක) චිත්‍ර ප්‍රදර්ශනය නරඹන කිසිවෙකුට ඔහුගේ නිර්මාණ එකතුව අනිජ Exotic යැයි පැවසිය නොහැකිය. අප ඔහුගේ ඒකරාශී කරන ලද නිර්මාණ සමුච්චය පහසුව සඳහා චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස හැඳින් වුවද තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මිත සිතුවම්වලට අතිරේකව මූර්ති හා ස්ථාපන ද මෙම ප්‍රදර්ශනයට අයත්ය.

චිත්‍ර ප්‍රදර්ශනයට නිමිති සපයා ඇත්තේ බුදු දහම හා ඒ මත ගොඩනැඟුණු සංස්කෘතිය යි. මහින්ද බෞද්ධ සංස්කෘතිය යන්න ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර කාම්බෝජය, වියට්නාමය, බුරුමය වැනි වෙනත් බොදු සංස්කෘතීන් ගවේෂණය කිරීම වෙත ද යොමු කර ඇත. ඒ නිසා ප්‍රදර්ශනය නරඹන්නකුට පුළුල් බවක් මෙන්ම ඒ හා බැඳි ආගන්තුක බවක් ද දනවයි.

මහින්දගේ චිත්‍ර, බුදු දහමේ යථාව ගැඹුරින් විචාරීමේ උත්සාහයකි. ඒවා අවකාශමය පර්යාලෝකය මත පිහිටන අතරම සංරචනයේ සමබ රතාව රැකගනිමින් ශාස්ත්‍රාලීය කලාවේ මූලිකාංග ආරක්ෂා කරයි.

ආලෝකය හා අඳුර පාලනය කිරීමේ දී ඔහු උද්දීප්ත ස්ථාන හා අඳුරු ස්ථාන අතර මනා අන්තර් සම්බන්ධයක් ගොඩනඟයි. පෙරදීද සඳහන් කළ පරිදි මහින්ද වර්ණවාදියෙකි. ඔහුගේ පින්සල් පහරවල් අතිශයින් ජවසම්පන්නය. ප්‍රාණවත්ය.

ඔහුගේ මෙම චිත්‍ර කලා නිපුණත්වයට ප්‍රංශ චිත්‍ර කලාවේ නිරන්තර ඇසුරද බලපාන්නට ඇත. මෙම ශ්‍රී ලාංකික සිත්තරා 1981 සිට වාසභූමි කරගෙන සිටින්නේ ප්‍රංශයය.

ඔහුගේ දිවිසැරිය ගෙවෙන්නේ එහි හදවත බඳු පැරිසියේ සෙන් නදිය, නොත්‍රදාම් ස්මාරකය හා ලූවර් කෞතුකාගාරය අතර පිහිටි කලාගාරයකය. එයට හේතුව ඔහු එහි භාරකරුවා වීමය.

අපගේ සිත්තරාගේ හඳුන්වා දිය යුතු තවත් විශේෂත්වයක් ඇත. ප්‍රංශයේ ජීවත් වන එකම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෘත්තික චිත්‍ර ශිල්පියා ඔහුය. ප්‍රංශයේ ජීවත් වන සියලුම චිත්‍රශිල්පීන්ගේ සිතුවම් ඒකරාශී කොට පැවැත්වෙන ''ට්‍රියන්නෑල් මොන්දියාලේ ඩෙසැටෙම්පස්'' කලා පුදර්ශනය අවස්ථා හතකදී මහින්දගේ සිතුවම්වලින් වර්ණවත්ව ඇත.

ප්‍රංශ සිත්තරුන්ගේ නිර්මාණයන්ට රටින් බැහැරව වෙළඳපළක් සකස් කර දීම මෙම ප්‍රදර්ශනයේ අරමුණය. මෙම ප්‍රදර්ශනය ප්‍රංශයෙන් බැහැර රටක වසර තුනකට වරක් පැවැත් වෙයි.

චිත්‍ර ශිල්පය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය, ඔහු 1988 දි ප්‍රංශ ජනරජයෙන් හිමි කරගත් අතර වෘත්තිය චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය මහින්දට ලැබිණේ1989 දී ය. මෙයට අමතරව 2004 දි ජූරියේ ත්‍යාගය හිමිකර ගැනීම ඇතුළුව මහින්ද හේරත් ප්‍රංශයේදි ඇගැයීම් රැසක් හිමිකර ගෙන ඇත. එයට අමතරව ඔහු කේවල හා සාමූහික ප්‍රදර්ශන රැසකට සහභාගී වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා