ජාතික කැරම් ශ්‍රේණිගත කිරීම් අතරට පළමුවරට 13 හැවිරිදි ක්‍රීඩිකාවක්

ජාතික කැරම් ශ්‍රේණිගත කිරීම් අතරට පළමුවරට 13 හැවිරිදි ක්‍රීඩිකාවක්

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන ජාතික කැරම් ශූරතාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පළමු 16 අතරට පැමිණීමට අනුලා විද්‍යාලයේ මින්සාදී ලක්නාරා සමත්වූවාය.

ශ්‍රී ලංකා කැරම් තරග ඉතිහාසයේ මුල් වරට අවුරුදු 13හැවිරිදි ක්‍රීඩිකාවක් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීම විශේෂ සිදුවීමකි.

පසුගිය වසරේ කනිෂ්ඨ කැරම් තරගාවලියේ අවු.13න් පහළ ශූරතාව දිනාගැනීමටද මින්සාදී සමත්වුවාය.

මේ අතර 15හැවිරිදි තරුෂි හිමන්සිකා ද (මහමායා විද්‍යාලය) ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වූවාය.

මේ දෙදෙනා ලබන මස පැවැත්වෙන ග්‍රෑන්ඩ් ස්ලැම් කැරම් ශූරතාවලියට සුදුසුකම් ලබාසිටිති.

ජාතික කැරම් ශූරතාවලියේ පසුගිය සතියේ පැවැති කාන්තා කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මින්සදී ලක්නාරා හමුවේ වට 2-0කින් සුමල්‍යා විදානගමගේ පරාජයට පත්වු අතර තරුෂි හිමන්සිකා හමුවේ වට 2-0කින් රෙබේකා ඩැලරින් පරාජය පත්වුවාය.

චලනි ලක්මාලි, ජෝශප් රොසිටා, මධූෂිකා කාංචනමාලා, යෂිකා රාහුබද්ධ, අරෝෂා වික්‍රමසිංහ හා ජෝශප් ‍රොසිටා ද කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ‍.

චමිල්-බ්‍රෙන්ඩ්ලි, චලනි-රොෂිටා

යුගල ශූරතා දිනති

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කරන 46වැනි ජාතික කැරම් ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට පසුගිය වසරේ ජාතික ශූරයා වන චමිල් කුරේ හා බ්‍රෙන්ඩ්ලි වික්‍රමසිංහ සමත්වු අතර කාන්තා ශූරතාව පසුගිය වසරේ ජාතික ශූරිය වු චලනි ලක්මාලි හා ජෝෂප් රොසිටා විසින් දිනාගත්හ.

පිරිමි යුගල අවසන් තරගයේදී ලකුණු 25/02, 25/16ක් ලෙස ‍කැරම් කේවල ඉසව්වේ ලෝක ශූරයා වන නිශාන්ත ප්‍රනාන්දු හා ළහිරු ඒෂාන් පරාජයට පත්විය.

චමිල්/බ්‍රෙන්ඩ්ලි යුගලය පළමු අවසන් පූර්ව තරගයේදී අනස් අහමඩ් හා මොහොමඩ් සහීඩ් වට 2-1කින් (25/05, 14/25, 25/21) පරාජයට පත් කරමින් අවසන් තරගයට පැමිණියහ. දෙවැනි අවසන් පුර්ව තරගයේදී වට 2-1කින් (25/06, 24/25, 25/24) නිශාන්ත/ලහිරු හමුවේ එම්.සරිෆ්ඩීන් හා එම්.ටී.එම්.හිල්මි පරාජයට පත්වූහ.

කාන්තා යුගල ශූරතාව දිනාගත් චලනි ලක්මාලි හා ජෝෂප් රොසිටා වෙතින් ලකුණු 25/05, 25/23 (වට 2-1) කින් යෂිකා රාහුබද්ධ හා බුද්ධිනී ඩයස් අවසන් තරගයේදී පරාජයට පත්වු අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0කින් (25/00, 25/06) සඳුනි නිරාෂා හා තරුෂි හිමන්සිකා පරාජයට පත්වූහ. යෂිකා/බුද්ධිනී අවසන් තරගයට පැමිණියේ පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1කින් (22/25, 25/10, 25/20) ආර්.ඒ.ඩී.එම්.කාංචනමාලා හා ජොශප් ඩිල්කා පරාජය කරමිණි. තරගාවලියේ ප්‍රවීණයන්ගේ කේවල තරගය ජයගැනීමට ලලිත් කුමාර සමත්විය. ඔහු හමුවේ අවසන් තරගයේදී උපාලි පෙරේරා වට 2-0කින් (25/18, 25/22) පරාජයට පත්විය.

ලලිත් කුමාර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඒ.ඩබ්.එම්.අක්රම්ට ‍එරෙහිව වට 2-1කින් (22/25, 25/01, 25/12) ජයක් වාර්තා කළ අතර උපාලි පෙරේරා විසින් පළමු අවසන් පූර්ව තරගයේදී කාවින්ග පෙරේරා වට 2-1කින් ( 25/18, 21/25, 25/16) පරාජයට පත්කළේය.

මේ අතර පසුගිය සතියේ පැවැති මිශ්‍ර යුගල තරගයේ ශූරතාව දිනාගැනීමට නිශාන්ත ප්‍රනාන්දු හා චලනි ලක්මාලි සමත්වූහ. ඔවුන් හමුවේ අවසන් තරගයේදී චමිල් කුරේ හා මධුෂිකා කාංචනමාලා වට 2-1කින් (12/25, 25/20, 25/24) පරාජයට පත්වූහ.

මිශ්‍ර යුගල අවසන් පූර්ව තරගයේදී නිශාන්ත/චලනි හමුවේ ලහිරු ඒෂාන් හා ජෝෂප් රොසිටා පරාජය පත්වු අතර චමිල්/මධුෂිකා හමුවේ මොහොමඩ් ෂාහීඩ් හා රෙබේකා ඩැලරින් පරාජයට පත්වූහ. මේ තරගාවලිය ලබන 8වැනිදා දක්වා පැවැත්වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා