කඩුවෙල සංවර්ධනයට  රුපියල් දසලක්ෂ 500ක්

කඩුවෙල සංවර්ධනයට  රුපියල් දසලක්ෂ 500ක්

පොදු අඩුපාඩුවලට මුල්තැන දෙයි

“කඩුවෙල කොට්ඨාසයේ සංවර්ධනය වෙනුවෙන් 2014 වර්ෂය සඳහා රු. මිලියන පන්සියයකට වඩා වැඩි මුදලක් ලැබී ඇති අතර, පොදු අඩුපාඩු සොයා බලා සංවර්ධන කටයුතු කිරීම වඩා වැදගත්වන බව” ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ පසුගියදා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සභාපතිවරයා ලෙසින් සහභාගී වෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

කඩුවෙල සංවර්ධනය වෙනුවෙන් කටයුතු කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන ‍කමිටුව සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීම අවශ්‍යයි .

ඒ වගේම ජනතා ගැටලු සඳහා සාධාරණය ඉටුකිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. සංවර්ධන කටයුතු සඳහා දුප්පත් ජනතාවගේ කුඹුරු ඉඩම් ගොඩකිරීමේ දී ඒ අය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතුයි.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම්

පී. එස්. කේ. කන්නන්ගර මහතා‍

කඩුවෙල රාජ්‍ය නිලධාරීන්ට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා.

මිලියන 500ට වැඩි වැඩ කොටසක් ඉටු කිරීමේ වගකීම අප වෙතයි පැවරී තියෙන්නෙ, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ස්වේච්ඡා සංවිධාන ප්‍රාදේශීය නායකත්වය මේ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.

එක ගමකට එක වැඩක්, දිවිනැගුම, ගමනැඟුම සුළු හා ප්‍රාථමික පාසල් වැඩි දියුණු කිරීම වැනි විෂයන් 07ක් ඔස්සේ මුදල් වෙන් කිරීම සිදුවෙනවා. මේ සියලු කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගෙනයි සිදු වෙන්නෙ. අපේ නිලධාරින් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා.

සමෘද්ධි මහ සංගමයට හා සැලසුම් අංශය වෙනුවෙන් පරිගණක කට්ටල බෙදාදීමද ඇමැති විමල් වීරවංශ මහතා අතින් සිදුකෙරිණි. ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම ද සිදුකෙරුනු අතර නිලධාරීන් විසින් ප්‍රගතිය ඉදිරිපත් කරනු ලැබිණි.

කඩුවෙල උප නගරාධිපති බුද්ධික ජයවිලාල්, සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කඩුවෙල නාගරික මන්ත්‍රීවරුන්, ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතන නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා