පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අත්දැකීම් ආසියානු ක්‍රීඩා උළෙලට වැදගත්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අත්දැකීම් ආසියානු ක්‍රීඩා උළෙලට වැදගත්

- යෝගානන්ද විජේසුන්දර

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීලග ආසියානු ක්‍රීඩා උළෙලට හොඳ පෙරහුරුවක් ලබාගනු ඇතැයි ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා පවසයි. විජේසුන්දර මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමග ස්විට්සර්ලන්තයේ ග්ලාස්ගොව් බලා ගොස් සිටින අතර ඔහු සමග සුනිල් ගුණවර්ධන හා ජයසේන රුද්‍රිගු මහතා ද එක්ව සිටිති.

“ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩිවෙන්න ප්‍රධානතම තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. ආසියානු ක්‍රීඩා උළෙලට මාසයකට පෙර පොදු රඳ මඩුලු ක්‍රීඩා උළෙල ඇති නිසා ක්‍රීඩා කිහිපයක හොඳ දියුණුවක් ලැබිය හැකියි.

මලල ක්‍රීඩා, වෙඩි තැබීම, බර ඉසිලීම වැනි ඉසව්වලින් ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව වැඩි වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අත්දැකීම් ශ්‍රී ලංකාවට වැදගත්” විජේසුන්දර මහතා පැවැසීය.

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යුරෝපයේ හා අප්‍රිකාවේ රටවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වෙනවා. ඒ නිසා තරගකාරිත්වය වැඩියි. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළ යුත්තේ හොඳ තරගයක් දී ආසියානු ක්‍රීඩා උළෙලට හොඳ පන්නරයක් ලබා ගැනීමයි” ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරු පැවැසීය.

ග්ලාස්ගොව් සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මීටර් 400 කඩුලු ඉසව්වට එක්වන ක්‍රිස්ටීන් සොනාලී මෙරිල් අමෙරිකාවේ සිට පැමිණෙන අතර හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලි පින්ලන්තයේ සිට පැමිණෙයි.

එම ඉසව් දෙකට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩක පිරිස මීටර් 400 (චන්ද්‍රිකා සුභාෂිනී), මීටර් 800 (ඩබ්ලිව්.කේ.එල්.ඒ.නිමාලි), මීටර් 400 (චානක මධුෂාන්) හා මීටර් 400X4 (කසුන් කල්හාර, අංජන මධුෂාන්, කාලිංග කුමාරගේ, නලීන් කරුණාරත්න) ඉසව් නියෝජනය කරති.

මෙයට අමතරව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පැරා මලල ක්‍රීඩා තරග කිහිපයක්ද නියෝජනය කරයි. වැලමිටෙන් පහළ අබාධවුවන්ගේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට ජී.ඒ.වෙස්ලි එක්වන අතර එම අංශයෙන්ම එම්.චන්ද්‍රසේන ද එක්වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ 23වැනිදා රටවල් 71ක සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා