කොළඹ-මහනුවර පාසල් රගර් තරගය 26දා

කොළඹ-මහනුවර පාසල් රගර් තරගය 26දා

කලම්බු බ්ලූස් කණ්ඩායමේ නායක සෙනාල් දීලක සහ කැන්ඩි රෙඩ්ස් කණ්ඩායමේ නායක තරින්ද රත්වත්ත කුසලානය සමග. ඡායාරූපය – සුලෝචන ගමගේ

ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය හා එක්ව 'thepapare.com' වෙබ් අඩවිය මෙහෙයවනු ලබන මධ්‍යම ඒකාබද්ධ පාසල් රගර් කණ්ඩායම හා බස්නාහිර ඒකාබද්ධ පාසල් රගර් කණ්ඩායම අතර වාර්ෂික රගර් තරගය මේ මස 26වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. 'කලම්බු බ්ලූස්' සහ 'කැන්ඩි රෙඩ්ස්' ලෙස නම් කොට ඇති මේ කණ්ඩායම්වලට පසුගියදා නිමාවට පත්වූ පාසල් රගර් තරගවාරයේ දස්කම් දැක්වූ විශිෂ්ටතම ක්‍රීඩකයන් ඇතුලත් වෙති.

මෙවර පාසල් රගර් තරගවාරයේ ත්‍රිත්ව ශූරතා දිනූ ඉසිපතන විදුහල් පිලේ නායක සෙනාල් දීලක මෙවර 'කලම්බු බ්ලූස්' කණ්ඩායම මෙහෙයවන අතර ත්‍රිත්ව විදුහල් පිලේ නායක තරින්ද රත්වත්ත 'කැන්ඩි රෙඩ්ස්' කණ්ඩායම මෙහෙයවයි.

ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ දෙවැනි කොටසේ රගර් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‍තෝරාගැනීම සඳහා මේ තරගය පැවැත්වේ. මේ තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් 25‍ ‍තෝරා ගන්නා බවත්, මේ වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් තරගයට ඉදිරිපත් නොවන ක්‍රීඩකයන්ද ඇතුළත් කොට ආසියානු කණිෂ්ට රගර් තරගාවලිය සඳහා සංචිතයක් ඇති කරන බවත් තරගය සම්බන්ධව පෙරේදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය. ආසියානු කණිෂ්ට දෙවැනි කොටසේ රගර් තරගාවලියේ ජය අත්කර ගනිමින් ලබන වසරේ දී පළමු කොටසේ තරගාවලියට එක්වීමට බලාපොරොත්තු වන බව ද මෙන්ඩිස් මහතා කීවේය.

බස්නාහිර පළාත් කණ්ඩායම ‍තෝරාගැනීම පසුගියදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී සිදුකෙරුණු අතර ඊට ක්‍රීඩකයන් 80කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. ඒ අතරින් තෝරාගත් ක්‍රීඩකයන් 40ක් අතරින් අවසන් කණ්ඩායම ‍තෝරාගැනීමට නියමිතය.

'කලම්බු බ්ලූස්' කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ‍ඉසිපතන විදුහලේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් සහ ජනාධිපති කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනූ රාජකීය විදුහල් පි‍ලේ පුහුණුකරු සනත් මාටිස් මහත්වරු පත්කර ඇත.

ආනන්ද කස්තුරි හා ප්‍රියන්ත ගුණරත්න මහත්වරු 'කැන්ඩි රෙඩ්ස්' කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. 'කලම්බු බ්ලූස්' සහ 'කැන්ඩි රෙඩ්ස්' අතර රගර් තරගයට පූර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ ඩයලොග් සමාගම විසිනි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා