හිරුමෙන් නොනැසී පවතින දිනමිණ

හිරුමෙන් නොනැසී පවතින දිනමිණ

දිනමිණ යන්නෙහි අර්ථය දිනයට ආලෝකය ලබා දෙන්නා හෙවත් සූර්යයා යන්න ය. සූර්යයා නැති කල ලෝකයක් නැත. දිනමිණ නැති තැන පත්තර ලෝකයක් ද නැත. දැනට ශ්‍රී ලංකාවේ පවතින පැරැණි ම ජාතික පුවත්පත දිනමිණ ය. අපේ පුවත්පත අද සිය එකසිය පස්වන ජන්ම දිනය සමරයි. මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස අපට හැඟී යන්නේ වසර සියයකට හෙවත් සියවසක් පුරාවට ජාතික පුවත්පතක් පවත්වාගෙන යෑම අති දුෂ්කර ක්‍රියාවලියක් බැවින් ය. එහෙත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජාතික මෙහෙවරක යෙදීමේ වුවමනාව හා හැකියාව අප ආයතනයට තිබේ. එය මේ මොහොතේ සිහිපත් කළ යුත්තේ මහත් අභිමානයෙන් යුතුවය.

1909 දෙසැම්බර් 17 දා එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් දිනමිණ පුවත්පත ආරම්භ වන්නේ ජාතියට අවශ්‍ය සන්නිවේදන ක්‍රියාවලියක් නොබියව ඉටුකිරීම සඳහා ය. එදා අධිරාජ්‍යවාදියාගේ බලපෑම රටේ ජනතාව ගේ කොන්ද බිඳ දමා තිබූ අතර නිදහස් අරගලයට උරදෙන කණ්ඩායමට සිංහල භාෂාවෙන් ජීවය දෙන්නට ජාතික පුවත්පතක් නො තිබිණි. දිනමිණ ආරම්භ වන්නේ එම හිඩැස පිරැවීම සඳහා ය. එතැන් සිට මේ පුවත්පත රටේ දේශපාලනික , සමාජ - ආර්ථික හා සාංස්කෘතික ක්‍රියාවලියට ලබා දුන් ශක්තිය අපමණ ය. එහි බලපෑම කොතෙක් ද යත්; රට පාලනය කරන හා ‍ෙද්ශපාලනය වෙනස් කරන ආයතනයක් ලෙස ද දිනමිණ කන්තෝරුව හැඳින්විණි. එහි උපරිමය සටහන් කරමින් දෙවන නිදහස් අරගලයේ තීරණාත්මක සන්නිවේදන කාර්යභාරයක් දිනමිණ විසින් ඉටුකරන ලදී.

පුවත්පතක් ඇතැම්විට ආණ්ඩුවකට වඩා බලවත් ය. දේශපාලකයාට වඩා ඉදිරියෙන් සිටීම ප්‍රගතිශීලී පුවත්පතක සිරිත වේ. ප්‍රධාන කරුණු හතරකින් අප පුවත්පත සතු එම ශක්තිය වටහාගත හැකි ය. ඒවා දිනමිණ සතු විශේෂ ලක්ෂණ ලෙස ද හඳුනාගත හැකි ය.පළමුවන්න ර‍ටේ හා ජාතියේ ඉදිරිගමන වෙනුවෙන් නො පැකිලි ව පෙනී සිටීම ය. දෙවන්න හැමවිට ම දැඩි ආචාර - ධර්ම පද්ධතියක් යටතේ ප්‍රවෘත්ති පළ කිරීම ය. තෙවන්න සමාජ හා සාංස්කෘතික ක්‍රියාවලියේ දී මුල්තැන ගෙන කටයුතු කිරීම ය. හතරවන්න කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ හා යුක්තිසහගත ලෙස සැලැකීම ය. බොහෝ පුවත්පත් ආයතනවල නැති වටිනාකමක් හා ගෞරවයක් ද, නිදහසක් ද දිනමිණ සිය කාර්ය මණ්ඩලයට ලබා දී තිබේ.

මේ සුවිශේෂ සාධක හතර නිසා දිනමිණ අධ්‍යාපන ආයතනයක් හෙවත් සරසවියක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වේ. ප්‍රායෝගික පත්තර කලාව විධිමත් ලෙස හැදෑරිය හැකි ශ්‍රී ලංකාවේ වැදගත්ම ස්ථානය දිනමිණ කන්තෝරුව යැයි කිවහොත්; එය අතිශයෝක්තියක් නො වේ. දිනපතා පුවත්පතක නිර්මාණශීලී ක්‍රියාවලියට අයත්වන්නේ වර්තාකරණය, සංස්කරණය, පිටු සැලැසුම් හා ආකර්ෂණීය සිරස්තල යෙදීම ය. මේවා ප්‍රායෝගික ලෙස උගත හැකි හොඳ ම තැන දිනමිණ ය. දිනමිණට ශෛලියක් තිබේ. සම්ප්‍රදායයක් ද තිබේ. ජාතියේ අවශ්‍යතාව අනුව සම්ප්‍රදාය බිඳින අවස්ථා ද තිබේ. දිනමිණ පුවත්පතෙහි නිය ම ස්වාභාවය එය යි.

භාෂාවට හා සංස්කෘතියට මේ තරමින් ආදරය කරන වෙනත් සිංහල පුවත්පතක් ශ්‍රී ලංකාව තුළ නො වන්නට පුළුවන. භාෂාවේ වියරණය, අක්ෂර වින්‍යාසය හා සම්ප්‍රදාය රැකීම සඳහා දිනමිණ කර්තෘ මණ්ඩලය විශේෂ පරිශ්‍රමයක් දරයි. කර්තෘවරුන් වෙනස් වුව; කාර්ය මණ්ඩල වෙනස් වුව භාෂාවට හා සංස්කෘතියට මේ පුවත්පතෙහි ඇති දායකත්වය කිසි ලෙසකින් හෝ අඩු වී නැත. සාහිත්‍ය - කලා ක්ෂේත්‍රවල උන්නතිය සඳහා බලවත් ශාස්ත්‍රීය මෙහෙවරක යෙදීම ද දිනමිණ පුවත්පතෙහි විශේෂ ලක්ෂණයකි. සම්භාව්‍ය කලාකරුවාට පමණක් නො ව; ආධුනික කලාකරුවාට ද සහාය පළ කරමින් ඔවුනට අවශ්‍ය ප්‍රචාරය හා දැනුවත්භාවය නොමිලේ ම ලබා දීම අප පුවත්පතෙහි සිරිත ය. ඊට කල්ලිවාද හෝ ගුරුකුලවාද හෝ බලපාන්නේ නැත.

දිනමිණ පුවත්පත වසර එකසිය පහක් තිස්සේ ජාතියට කළ මෙහෙවර සුඵ පටු නො වේ. එය ගණනය කළ හැක්කේ රටේ සමාජ - ආර්ථික හා සාංස්කෘතික අභිවෘද්ධිය සමඟ ය. එම ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සමඟ ගැටගැසුණු ඥාතිත්වයක් දිනමිණට තිබේ. එදා දිනමිණ කන්තෝරුව අද සැලැකිය හැක්කේ පරිපූර්ණ පත්තර ආයතනයක් හා විද්‍යස්ථානයක් ලෙස ය. දිනමිණ කන්තෝරුව ලේක්හවුස් ආයතනය බවට පරිවර්තන ය වූ අතර ඩී.ආර්. විජේවර්ධන මහතා එය ආසියාවේ පිළිගත් පත්තර ආයතනයක් බවට පත් කළේ ය. එහි පුස්තකාලය අදත් ශාස්ත්‍රඥයන්ගේ පර්යේෂණ ස්ථානයක් බවට පත් වැ තිබේ.

මේ පත්තර කලාව සම්බන්ධයෙන් ඒ තරම් සරුසාර කාලයක් නො වේ. අපට පෙර ඉතා දියුණු පත්තර කර්මාන්තයක් පැවැති යුරෝපයේ පත්තර ආයතන එකින් - එක වැසෙමින් පවතී. පත්තර අලෙවිය පහත වැටෙමින් පවතී. පුවත්පත වෙනුවට ඩිජිටල් තාක්ෂණයෙන් යුතු කුඩා සන්නිවේදන මෙවලම් සමාජය තුළ පරිහරණය වෙයි. පත්තර කර්මාන්තය දිනෙන් - දින ම අභියෝගයට ලක්වන්නට පටන්ගෙන තිබේ. එහෙත් වාසනාවකට මෙන් ආසියාවේ පත්තර කලාව හා කර්මාන්තය තව ම යෙහෙන් පවතී.

කුඩා පාඨක සමාජයක් තුළ අසීමිත තරඟයකට ද මුහුණ දෙමින් පත්තරයක් පවත්වා ගැනීම හැම අතකින් ම අභියෝගයකි. අපට එම අභියෝගය ජය ගැනීමට හැකි වී ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් නිසා ය. පළමුවන්න අපේ කාර්ය මණ්ඩලයේ සහෝදරත්වය යි. දෙවන්න අපේ කාර්ය මණ්ඩලය හැමවිට ම පාහේ කාලයේ තාලයට අනුව වෙනස්වීම යි. නව දැනුම සොයා යෑම අපේ පුරුද්දකි. තෙවන්න ආදරණීය පාඨකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය යි. එම විශ්වාසය අන් සියල්ලට වඩා අපට වටී. ආදරණීය පාඨකයිනි අප ඔබ සමඟ ය. ඔබේ හඬ අපේ ද හඬ බව අමතක නො කරන්න!

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා