සිරිසේනට තියෙන්නේ අගමැතිකම නොලැබීමේ වෛරයයි

සිරිසේනට තියෙන්නේ අගමැතිකම නොලැබීමේ වෛරයයි

විවිධ දේශපාලන පක්ෂ සමඟ අස්සන් කර ඇති රට පාවා දීමේ හොර ගිවිසුම් සියල්ල වහාම රටට හෙළදරව් කරන්නැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අභියෝග කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් කළ ප්‍රකාශ වෙනස් කරමින් දැන් විවිධ තැන්වල විවිධ ප්‍රකාශ සිදුකරන්නට පටන්ගෙන සිටින නිසා ඔහු පවසන්නේ සත්‍ය කරුණුදැයි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

ඔහු හෙළ උරුමයේ රතන හිමියන්ට එකක් පවසන විට, චම්පික රණවක, රාජිත සේනාරත්න හා දෙමළ සන්ධානයට තවත් එකක් පවසන බවත් කීය. ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රටට හෙළි කිරීමට තරම් කිසිදු ගිවිසුමක් නොමැති බවත්, එවැනි ගිවිසුම් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් කීය.

පොදු විපක්ෂයේ දේශපාලන චරිතවලට විවිධ ප්‍රශ්න තිබෙන බවද, ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංගට තිබෙන්නේ ජනාධිපතිතුමා සහ රජය සමඟ වෛරය බවද, මෛත්‍රීපාල සිරිසේනට තිබෙන්නේ අගමැතිකම නැතිවීමේ වෛරය බවද, චම්පික රණවකට තිබෙන්නේ විදුලිබල අමාත්‍යාංශය නැතිවීමේ වෛරය බවද, සරත් ෆොන්සේකාට තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය නොලැබීමේ වෛරය බවද, දෙමළ සන්ධානයට තිබෙන්නේ රට බෙදීමට නොහැකිවීමේ වෛරය බවද ‍ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, වරාය මහාමාර්ග හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා