කිළිනොච්චි - මුලතිව් තරුණ තරුණියන් 10,000ක් සිවිල් ආරක්ෂක බළකායට අයදුම් කරයි

කිළිනොච්චි - මුලතිව් තරුණ තරුණියන් 10,000ක් සිවිල් ආරක්ෂක බළකායට අයදුම් කරයි

කිළිනොච්චි මුලතිව් හා යාපනේ ‍ප්‍රදේශවල තරුණ තරුණියන් දස දහසක් සිවිල් ආරක්ෂක බළකායට සම්බන්ධවීමට අයඳුම්පත් ඉදිරිපත් කර මේ වන විටත් පොරොත්තු ලේඛනගතව සිටින බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

මේ වන විටත් එම ප්‍රදේශවලින් පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තවාදීන්ව සිටි තරුණයන් තුන්දහස් පන්සියයක් එම බළකායට බඳවාගෙන තිබේ.සිවිල් ආරක්ෂක බළකායේ කෘෂිකර්මාන්තය ඇතුළු බොහෝ අංශවල මේ පිරිස සේවය කරති.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව උතුරේ තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක බළකායට බඳවා ගැනීම ආරම්භ වුණේ මීට වසර තුනකට පමණ පෙර සිටය. සිවිල් ආරක්ෂක බළකාය දැනට සෙබලුන් හතළිස්දහසකින් සමන්විත වෙයි. ඉන් සේවා කාලය අවුරුදු 20 සපිරුණ සෙබලුන්හට විශ්‍රාම වැටුප් ද හිමි‍වෙයි.

යුද්ධයෙන් පසු විසුරුවා හැරීමට සිටි සිවිල් ආරක්ෂක බළකායේ සේවය ස්ථිර කර ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුවයි.

රටේ සංවර්ධනයට අමතරව සිවිල් ආරක්ෂක බළකාය විසින්ම ඔවුන්ගේ ශ්‍රමයෙන් රට පුරා කෘෂිකර්ම හා විශේෂව්‍යාපෘති ඉඩම් අක්කර පහළොස්දහසකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබේ. අක්කර හයදහසකට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත. අක්කර එක්දහස් හයසියයක කජු වගා කර ඇත. රට කජු, බඩ ඉරිඟු, උඳු, මිරිස්, තල, කව්පි, කුරක්කන්, මුංඇට, පොල් ඇතුළු භෝග රැසකි.

මෙම බළකාය මේ වන විට ඔවුන්ගේ ව්‍යාපෘති හරහා රුපියල් මිලියන තිස්නවදහසකට වැඩි කෝටි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් උපයා ඇත.මේ නිසා එම බළකාය රජයේ භාණ්ඩාගාරයට විශාල ආදායමක් ලබාදී ඇති අතර එම බළකායේ ඉන්ධන, ව්‍යාපෘති සඳහා වූ වියදම් සත්ත්ව පාලනය ඇතුළු දේවල් සඳහා රජයෙන් මුදල් ලබා නොගෙන එම බළකායේ මුදල් වලින්ම යැපීම සිදු වෙයි.

මිය යන සිවිල් ආරක්ෂක බළකා සෙබළකු වෙනුවෙන් ඔවුන්ගේ දරුවන්ට මිලියනයක මුදල් පරිතයාගයක් ලබා දෙන එකම ආරක්ෂක බළකායද සිවිල් ආරක්ෂක බළකායයි. ඊට අමතරව රජයේ සංවර්ධන වැඩවලට විශාල දායකත්වයක් ලබා දෙමින් පෞද්ගලික කොන්තාත්කරුවන් සඳහා රජයට යන වියදමද රජයටම ඉතිරි කරදීම බළකාය අතින් සිදු වෙයි.

රජයේ ස්ථිර ආරක්ෂක අංශයක් බවට පත්වී ඉතා කෙටි කාලයක් තුළ සිවිල් ආරක්ෂක බළකාය ලබා ඇති ප්‍රගතිය හා ඉන් ලබාගත් ප්‍රතිඵල සිවිල් ආරක්ෂක බළකායේ සෑම සෙබළකුගේම කැපවීම මත ලබාගත් එකක් බවද රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා