පරදින තරගයකට රනිල් මෛත්‍රීව දමලා පැත්තකට වෙලා ඉඳන් අප්පුඩි ගහනවා

පරදින තරගයකට රනිල් මෛත්‍රීව දමලා පැත්තකට වෙලා ඉඳන් අප්පුඩි ගහනවා

ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

අද හැමෝම බලන්නේ බොර දියේ මාළු බෑමටයි. හැබැයි මේ අය දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ ජන හදවත් දිනපු නායකයෙක් කියලා. ඒ නිසා ඔය කියන තරම් දෙයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී වෙන්නේ නැහැ කියලා ඔවුන් දන්නවා. මේ යථාර්ථය හොඳින් තේරුම් ගෙන ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයා 2010 දී කළ දේ ම අදත් කරමින් පරදින තරගයකට මෛත්‍රීපාල මහත්තයා දමලා පැත්තකට වෙලා අත්පුඩි ගහනවා යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ “දිනමිණ”කළ විමසීමකට පිළිතුරු දෙමිනි. යළිත් වතාවක් ශ්‍රී ලංකාවේ අනාගතය ගැන තීරණාත්මක තැනකට අපි ඇවිල්ලා සිටිනවා. මේ තීරණාත්මක මොහොතේ විවිධ දෙස් විදෙස් සතුරු පාර්ශ්වයන් රට අස්ථාවර කිරීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ පාලනය ඉවත් කරන්න මාන බලනවා. මේ හැමෝම උත්සාහ දරන්නේ බොරදියේ මාළු බෑමටයි.

අපේ රජය විදුලිය දෙනකම් පාරවල් හදලා දෙනකම් කවුරුවත් පාරවල් හැදුවේ නෑ. විදුලිය දුන්නේ නෑ. එහෙම කළේ ජනතාව ගැන ඒ රජයන් හිතපු නැති නිසයි. අපි යුද්ධය සිදුකරන ගමන් සංවර්ධනය රට පුරා ක්‍රියාත්මක කළා. යුද්ධය අපේ ක්‍රමයට ඉවර කළා. මේ ගැන කලබල වුණු බටහිර බලවේග, අධිරාජ්‍යවාදීන් යළි මේ රට අස්ථාවර කරන්න උත්සාහ දරනවා. කොහොම හරි මහින්දව ගෙදර යවලා බලය ගන්න පොරකන යූ. එන්. පී. එක අද කුමන්ත්‍රණයට හසුවෙලා.

හැබැයි ඒ අය අද බිල්ලට දීලා තියෙන්නේ අපේ පක්ෂයේ හිටපු මහා ලේකම්ව. ජනාධිපති ධුරය එතුමාට පෙන්නලා විධායක අගමැති වීමේ අපේක්ෂාව ඉටුකර ගන්න රනිල් වික්‍රමසිංහ මහතා අද හදනවා.විවිධ බලවේගවල උවමනාවට එක්වුණු මේ අයට තියෙන්නේ රටක් වෙනුවෙන් වැඩ කිරීමට උනන්දුවට වඩා තමුන්ට නොලැබුණු දේ දිනාගැනීමේ අවශ්‍යතාව. ඒ වගේම මේ අය ප්‍රතිපත්තිමය වශයෙන් පවා කිසිම ගැළපීමක් නැහැ. එහෙම නොගැළපෙන පිරිසක් කොහොමද රටක් පාලනය කරන්නේ?

දැන් මේ අය කියනවා මේ ර‍ටේ යහපාලනය නීතියේ ස්වාධිපත්‍යය ඇතිකිරීම විධායක බලතල ඉවත් කිරීමෙන් පුළුවන් කියලා. සංවර්ධනය ගැන ජනතා සුබසිද්ධිය ගැන නමුත් මේ අයට සැලසුම් නැහැ. එහෙම දෙයක් මේ උදවිය කියන්නේවත් නැහැ. එහෙම වේලාවට ජනතාවට නොතේරෙන මොනවාදෝ මේ අය කියනවා. කොහොම වුණත් ජනාධිපතිතුමා තුන්වෙනි වරටත් ශක්තිමත් කරලා මේ සංවර්ධනය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි කියලා මේ රටේ ජනතාව තීරණය කරලා ඉවරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා