පොදු අපේක්ෂකයාගේ කණ්ඩායමේ පොදු එකඟතාවක් නැහැ

පොදු අපේක්ෂකයාගේ කණ්ඩායමේ පොදු එකඟතාවක් නැහැ

ඩබ්. බී. ඒකනායක
වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

එළඹෙන ජනාධිපතිවරණය හා කාලීන සිදුවීම් සම්බන්ධව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්. බී. ඒකනායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* 2014 ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් වන බවට බොහෝ දෙනෙක් මත පළකරනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඒ මතය කිසිවෙකුටත් බැහැර කරන්න බෑ. අපේ මැතිවරණ ඉතිහාසය තුළ මෙතෙක් පැවති සෑම ඡන්දයක්ම හරිම උණුසුම්කාරියි. ඒ උණුසුම නිර්මාණය කරන්නේ මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂකයන් පමණක්ම නෙමෙයි. මේ රටේ ඡන්ද දායකයින් ද රටේ වැදගත් දේශපාලන කාර්යයන්වලදී උද්‍යෝගිමත්. මේ තත්ත්වය 2005 ජනාධිපතිවරණයේ දී වඩාත් හොඳින් කැපීපෙණුනා.

2010දී ඊටත් වඩා ජන රැල්ලක් නිර්මාණය වුණා. ඊට වඩාත් බලපෑ ආසන්නතම සාධකය වුණේ මේ රටේ සෑම පුද්ගලයෙක්ම ජීවිතයේ වැඩිම කාල පරිච්ඡේදයක් ඉතා අමිහිරි ලෙස අත්දැක තිබුණු කුරිරු ත්‍රස්ත භීෂණය නිමා කිරීමට සමත් ජන නායකයකුගේ පහළවීමයි. ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දමා මේ වනවිට වසර පහක් ගෙවී ගියත් යළිත් මේ රටේ සමගිය වනසා දැමීමට දෙස් විදෙස් බලවේග සිදු කරන කුමන්ත්‍රණ අවසන් වී නෑ.

මේ බැව් රට ජාතිය ගැන කැක්කුමක් නැති ඇතැමුන් නොදන්නවා මුත් රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. මේ නිසා යුද්ධය නිමා කළ නායකයා තවදුරටත් රට බාරදෙන්න ජනතාව පෙළගැසී සිටිනවා. ඊට එරෙහිව රට තුළින්ම පැන නැඟුණු බලලෝභි හවුල පරද්දන්න ඔවුන්ට ඕනෑකර තිබෙනවා. මේ නිසා මැතිවරණ ඉතිහාසයට පමණක් නොවෙයි, ජනතාවටත් මේ මැතිවරණය තීරණාත්මකයි.

* මෙවර ජනපතිවර‍ණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ශ්‍රී. ල. නි. පයේ ම සිටි ඇමැතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීම සුවිශේෂි සාධකයක් නොවෙයි ද?

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තීරණාත්මක බලපෑමක් නොවෙයි. නමුත් රට බේරාගත් නායකයා ප්‍රමුඛ ආණ්ඩුවක් දැවැන්ත සංවර්ධන සංග්‍රාමයත් සමඟ ජනතා සුබසිද්ධිය සඳහා වැඩ කරන යුගයක ඒ ගමනට කකුලෙන් අදින පිරිසකගේ කර මතින් මෛත්‍රීපාල මහතා ඡන්දයට ඉදිරිපත් වීම නම් සුවිශේෂී කාරණයක් . මම හිතන්නේ මේ මහා පාවාදීම දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහනක් වේවි.

* විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ යහ පාලනය ඇති කිරීම පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දු දෙක බවට පත්ව තිබෙනව. මේ කාරණා ජනතා ඡන්දය දිනා ගැනීමට තීරණාත්මක සාධකයක් බවට පත් වේවිද?

ඔය කාරණය ඒ‍ගොල්ලොම තමයි කල්පනා කළ යුත්තේ. විධායක ජනාධිපති ධුරය තිබුණත් නොතිබුණත් ජනතාවට ප්‍රශ්නයක් නෑ. අනෙක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන පොදු අපේක්ෂකයා කියන පුද්ගලයා කරළියට රැගෙන ආ කණ්ඩායම තුළත් පොදු එකඟතාවක් නෑනේ. මේ ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු මහින්ද රාජපක්ෂ නැමති ඒකාධිපති විධායකය වෙනස් කිරීම කියලා.

ඉර හැරෙන පැත්තට කතා කරන මේ උදවිය හිතනවා ඇති එයාලා වගේම රටේ ජනතාවත් මෝඩයි කියලා. කොහොමත් රනිල් මහත්තයා දන්නවා මෛත්‍රීට ජනාධිපති වෙන්ඩත් බෑ. එයාට අගමැති වෙන්ඩත් බෑ කියලා. ඒ නිසා මොනවා හරි කියලා වේදිකාවෙන් බහින එක විපක්ෂ නායකතුමාට ගැටලුවක් නෙමෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ එක්ව යහ පාලනයක් හදනවා කියන එක දේශපාලන වේදිකාවේ හොඳම විහිළුව බවට පත්වෙලා ඉවරයි.

* රජරටින් නව නායකයෙක් බිහිකර ගැනීමට ජනතාව පෙළගැසී සිටින බව පොදු අපේක්ෂක වේදිකාවෙන් නිතර ඇසෙන කතාවක්. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් ද?

අපිත් ඉන්නේ රජරටනේ. අපි ඉන්නෙත් ජනාධිපතිතුමා එක්ක. රජරට ජනතාව ඉන්නෙත් එතුමා එක්ක. රජරට ඉන්නේ තුන්වේලම බත් කන මිනිස්සු. බත් කන මිනිස්සුන්ට මුල අමතක වෙන්නේ නෑ. එදා ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ හිරිහැරවලට අනුරාධපුර, පොළොන්නරුව ජනතාව තරම් කිසි කෙනෙක් මුහුණ දුන්නේ නෑ. හවස ඉර බහින කොට කැලෑවට ගිහින් පුංචි උන් එක්ක ජීවිතය බේරාගෙන කැලේ මඩකඩිත්තේ. දරුවන්ගේ මුහුණ පිහදාලා ඉස්කෝලෙට ඇරලවා එනකන් මුරකරලා ජීවිතය ගැට ගසා ගත් මිනිස්සුන්ට ඒ තරම් ඉක්මනට අතීතය අමතක වෙනවද?

ජනතාවට නිදහස උදාකරදීමට ජීවිත පරිත්‍යාග කළ මේ රටේ රණවිරු දරුවන්ට නින්දා අවමන් කළ නඩයක ගැත්තෙකුට රට භාර දෙන්නේ කොහොමද? එදා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුහුණේ කෙනෙක්. රජරට ද රුහුණ ද කියලා භේදයක් නෑ. ජනතාවට ඉන්නේ එක නායකයයි. එවැනි බෙදීමක් ගැන මානසිකත්වයක් ගොඩනැඟීමට රටේ තවත් බෙදීමකට හේතුවක් වේවි. තමන්ගේ සිත්වල තිබෙන වෛරී සිතිවිලි සමාජයට වැපිරීම මහත්මා දේශපාලනයට පෑහෙන්නේ නෑ.

*  ඔබ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව බල කඳවුරු දෙක ආණ්ඩුවෙන් ගිලිහුණේ නෑ කියලද?

ඔය කතාව කියන අයට එදා සල්ගාදු පිටියට රැස්වුණු ජන ගඟ හොඳ උත්තරයක් දුන්නනේ. අනුරාධපුරෙන් එක්කෙනෙක් පැන්නා. පොළොන්නරුවෙන් දෙන්නෙක් පැන්නා කියලා ආණ්ඩු පෙරළන්ට පුළුවන්ද? එහෙම වෙන්ඩ නම් ජනතාවට දැනෙන දෙයක් එයාලා කරලා තියෙන්ඩ ඕනෑ රජරටට වෙලා ඒ මහත්වරු කළේ හාල් මාෆියාවයි. මහවැලි ග‍ඟේ වැලි මාෆියාවයි හැන්ඩ්ල් කරපු එක විතරයි. අඩුම තරමේ මෛත්‍රිපාල මහත්මයා සෞඛ්‍ය ඇමැතිවරයා වෙලා ඉඳලත් රජරට වෙළාගෙන තිබෙන වකුගඩු ප්‍රශ්නය විසඳන්න යෝජනාවක්වත් ඉදිරිපත් කරලා තියෙනවද?

එයා කළේ පොළොන්නරුවේ හිතවතුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටු පිරෙව්වා විතරයි. මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පරිණත දේශපාලනඥයෙක් වුණාට රජරට වන්නියේ අහිංසක මිනිස්සුන්ගේ කඳුළුවල ලුණුරස බලපු කෙනෙක් නෙමෙයි. හේනට කුඹුරට ජීවිතය දිය කරන අහිංසක ගොවිජනතාව පාවාදීමට කටයුතු කරන ජනතා නියෝජිතයෝ එදා හිටියා මිස දැන් නම් නෑ.

* පොදු අපේක්ෂකයාට සහාය දෙමින් ආණ්ඩුවෙන් ඉවත්ව ගිය අය කියන්නේ ඔවුන්ට ජනතාවට වැඩ කිරීමට ඇති බලය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහිමි කර ඇති බවයි.....

නටන්ඩ බැරි පොළොවෙ ඇද හින්දා කියලා කියමනක් තිබෙනවනේ. ඔය කියන කතාත් ඊට සමානයි. අපිත් එදා එජාපයේ ඉඳලා ආණ්ඩුවට ගියේ බලය ගන්ඩ නෙමෙයි ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්ඩ. පසුව ජනාධිපතිතුමා ජනතාවට සේවය කිරීමට අමාත්‍යාංශ අපට දුන්නා. සෑම ඇමැතිවරයකුටම රුපියල් ලක්ෂ පනහ බැගින් දෙනවා සංවර්ධන කටයුතුවලට.

තමන්ට වැඩ කර ගන්නේ නැතිව ජනතාවට වැඩ කරන අයට මේ බලතල මදිද? අනෙක රජය ක්‍රියාත්මක කරන සෑම සංවර්ධන වැඩසටහනකටම පළාතේ, ආසනයේ මැති ඇමැතිවරු වග කියනවා. ජනතාවට මොනයම් ක්‍රමයකින් හෝ සහනයක්. සංවර්ධනයක් ලැබෙනවා නම් අපි හැමෝම එහි කොටස්කාරයෝ. අපි ජනතාව සමඟ සිටින තාක් ජනතාව අපිව ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපි දන්නා දේශපාලනය නම් ඒකයි.

* ජනවාරි 08 වැනිදා ජනතා තීන්දුව තීරණාත්මකයි. එහි පෙර නිමිති ඔබ දකින්නේ කොහොමද?

සියලු සුබ පෙර නිමිති පහළ වී හමාරයි. අ‍ෙප් මාතෘභූමිය දිවි දෙවැනි කොට රකින ජන නායකයා යළිත් මේ රටේ ජනපති පුටුව හොබවන බව සක්සුදක් සේ පැහැදිලියි. එදා ත්‍රස්තවාදීන් පරාජය නොකළා නම් මේ වනවිටත් ප්‍රභාකරන්ගේ ඊළමේ සීමාව දැදුරුඔයත් පන්නලා. රටේ ස්වෛරීත්වය විනාශ කර දැමීමට සහය වන විදේශීය බලවේගයන්ගේ ඉත්තෙකුට රට කරවන්නට ඉඩ සැලසීමට ජනතාව සුදානම් නෑ.

සියලු ජාතීන් එකාවන්ව ජනවාරි 08 වැනිදාට ජනාධිපතිතුමා පොදුජන නායකයා ලෙස පත්කරනු නියතයි. ජයශ්‍රී මහා හාමුදුරුවන්ට ගෙන යන කිරිහාර පාත්තරේත් තුනී කරලා බෝම්බ තිබෙනවද බලපු යුගයක් තිබුණා. ඒ යුගය යළි නොඑනු දැකීම ජනතාවගේ ප්‍රාර්ථනයයි. ඒ සහතිකය ජනතාවට ලැබෙන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගෙන් නොව ජනතාවගේ පොදු අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපති වූ දාට බව ඉරහඳ සේ ජනතාවට විශ්වාසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා