වාර්තා පිට වාර්තා තැබූ ඩිල්ෂාන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක් ලබා දෙයි

සංගාගේ ස්ටම්ප් කිරීමෙන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල මහේලට

වාර්තා පිට වාර්තා තැබූ ඩිල්ෂාන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක් ලබා දෙයි

සිය 300 වැනි ජාත්‍යන්තර එක්දින තරගය ස්වර්ණමය තරගයක් කරගත් තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ එංගලන්තයට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති 7වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක විශිෂ්ට ජයක් අත්කර දීමට සමත්විය. ඒ සමගම තරග 5-2ක වාර්තාගත ජයග්‍රහණයකට හිමිකම් කීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තිලකරත්න ඩිල්ෂාන්

පිත්තෙන් දස්කම් දක්වමින් අගනා ශතකයකට හිමිකම් කී ඩිල්ෂාන් එංගලන්ත පිලේ ප්‍රබලතම කඩුලු 3ක් දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානයද තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවිය. ඊයේ තරගයේ දී කැපී පෙනුණු සිදුවීම බවට පත්වූයේ එංගලන්ත ඉනිමේ අවසන් මොහොතේ පන්දු යැවීමට පටන්ගත් මහේල ජයවර්ධනට එංගලන්ත පිලේ අවසන් කඩුල්ල අත්කර දෙමින් කුමාර් සංගක්කාර අගනා ස්ටම්ප් කිරීමකින් දායකත්වය ලබාදීමය.

එක්දින තරග 33කට පසුව වාර්තාවූ ඩිල්ෂාන්ගේ 18 වැනි ශතකයට දර්ශනීය හතරේ පහර 9ක් සමග හයේ පහරක් එක්විය. ඔහු සිය ඉනිම අතරතුර ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ලකුණු 9000 සම්පූර්ණ කළ පස්වැනි පිතිකරු ලෙස වාර්තාපොතට එක්වීමට ද සමත්විය. එමෙන්ම ඔහු ඒ දස්කම පෑ ලොව 15වැනි පිතිකරු ද විය. ඔහු මේ වාර්තාව පසුකළේ ලකුණු 97ක් ලබා සිටියදීය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් ලාංකික ක්‍රීඩාලෝලීන්ට මහේලගේ හා සංගාගේ ශ්‍රී ලංකා භූමියේ අවසන් ඉනිම් දැකබලා ගැනීමේ අවස්ථාව වේලාසනින්ම උදාවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ විශිෂ්ටතම පිතිකරු යුගලයක දස්කම් අවසන් වතාවටත් සජීවීව නැරැඹීමට පැමිණි 35,000ක ක්‍රීඩාලෝලීන්ගෙන් ඊයේ ආර්.ප්‍රේමදාස පිටිය අතුරු සිදුරු නොමැතිව පිරීගොස් තිබිණි.

නරඹන්නන්ගේ ජයඝෝෂා මැද ආරම්භක පිතිකරුවකු ලෙස ඊයේ පිටියට පැමිණි මහේල ජයවර්ධන ක්‍රිස් වෝක්ස් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක නිරතවීම කැපී පෙනුණි. එහෙත් ඔහුගේ ඉනිම මිනිත්තු 30කට සීමාවීය.

මහේලට මෙන්ම සංගක්කාරට ද ඊයේ තරගය එතරම් යහපත් වූයේ නැත. ශ්‍රී ලංකාවේ ඔහු සහභාගි වූ අවසන් එක්දින ඉනිම ලකුණු 33කදී නිමාවට පත්විය. නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 20කට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් කලෙකට පසුව විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ඩිල්ෂාන්ට අනගි සහයක් ලබාදීම කැපී පෙනුණි. දෙදෙනා එක්ව 3වැනි කඩුල්ලට ලකුණු 80ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූහ.

ඩිල්ෂාන් සිය ශතකය වාර්තා කළේ ඒ අතරතුරදීය. ඔහුගේ ශතකය වාර්තා වූයේ ක්‍රිස් ජෝර්ඩ්න් විසින් යවනු ලැබූ ශ්‍රී ලංකා ඉනිමේ 44 වැනි ඕවරය ආරම්භයේ දීමය. මුයීන් අලි වෙත උඩපන්දුවක් දී ඔහු දැවී ගියේ ඊළඟ පන්දුවේදීය. ඒ වනවිට ශ්‍රී ලංකාව ලකුණු 236ක් ලබා සිටියේය.

අනතුරුව තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමග එක්වූ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 299 දක්වා ඉහළ දැමීමට සමත්විය. එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ මේ පිතිකරු යුගලය අතර ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගීම ශ්‍රී ලංකාවට ලකුණු 300 සිමාවට ළඟාවීමට ඉවහල් වූ ප්‍රධානතම සාධකය විය.

තරගය ජය ගැනීමෙන් අනතුරුව සංගා - මහේල
ඡායාරූප-කමල් ජයමාන්න

චන්දිමාල් ඊයේ දිනයේ ඔහුගේ එක්දින තරග දිවියේ 12වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා රැස් කළේ ඔහුගේ 5වැනි අර්ධ ශතකයයි. ඔහු දැවී ගියේ ඉනිමේ අවසන් ඕවරයේදීය. ඊළඟ පන්දුවෙන් සිකුගේ ප්‍රසන්න දුවද්දී දැවී ගිය ද ඉනිම නිමාවීමට පෙර ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ගෙනයාමට නොදැවී ලකුණු 55ක් රැස් කළ චන්දිමාල් සමත්විය.

ලකුණු 303ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට ආරම්භයේ සිටම දැඩි තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. සිය වේගපන්දු යවන්නන්ගේ සහය පසුවට තබාගත් නායක මැතිව්ස් දඟපන්දු යවන්නන් අත්හදා බැලීමට තිරණය කරමින් පළමු ඕවරය දිල්රුවන් පෙරේරාට දුන් අතර දෙවැනි ඕවරය යැවීමේ වගකීම ලබා දුන්නේ තිලකරත්න ඩිල්ෂාන්ටය.

එය තරගයේ තීරණාත්මක ඕවරයක් බවට හැරවූ ඩිල්ෂාන් දෙවැනි පන්දුවෙන්ම මුයීන් අලීගේ කඩුල්ල බිඳ දැමීමට සමත්විය. මුයින් අලී ලකුණු නොලබා දැවීයාම එංගලන්ත ඉනිම අඩපණවීමට බලපෑ කරුණකි. අනතුරුව නායක අලෙස්ටෙයාර් කුක් සමග එක්වූ ඇලෙක්ස් හේල්ස්ට වැඩිවේලා පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. මුලු ලකුණු සංඛ්‍යාව 28ක්ව තිබියදී ඔහු සීකුගේ ප්‍රසන්න අතට උඩපන්දුවක් දී ලකුණු 7කට දැවීගියේ ද ඩිල්ෂාන්ගේ පන්දුවකටය.

නායක අලෙස්ටෙයාර් සහ ජේම්ස් ටේලර් දෙදෙනාම දැවීගියේ සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේය. එංගලන්ත ඉනිමේ 20 වැනි ඕවරය යවමින් නැවත වරක් සාර්ථක ඵල නෙලා ගැනීමට ඩිල්ෂාන් සමත්වූයේ ඔයින් මෝගන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි. අනතුරුව ජොස් බට්ලර් සමග එක්ව ජෝ රූට් ගොඩ නැගූ ලකුණු 48ක සම්බන්ධතාව බිඳ දමමින් බට්ලර් ලකුණු 23කට දවාලීමට සීකුගේ ප්‍රසන්න සමත්විය.

මුලු ලකුණු සංඛ්‍යාව 192ක් වනවිට එංගලන්ත පිලේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටුණේය. එය බිඳ දමනු ලැබුවේ දිල්රුවන් පෙරේරා විසිනි. ප්‍රසන්න යැවූ ඊළඟ ඕවරයේදී එතෙක් හොඳින් පන්දුවට පහරදුන් ජෝ රූට් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී ලකුණු 80ට දැවී ගිය අතර එම ඕවරයේම අවසන් පන්දුවෙන් නවක පිතිකරු ක්‍රිස් ජෝර්ඩ්න්ට අත්වූයේ ද ඒ ඉරණමයි. අවසන් කඩුල්ල ලෙස මහේලගේ පන්දුව හමුවේ ජේම්ස් ට්‍රෙඩ්වේල් දැවීයාමත් සමග එංගලන්ත ඉනිම ඕවර 45.5කදි ලකුණු 215කට සීමා විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා