සමෘද්ධිලාභීන්ගේ ජීවිත ඉහළ දමන්න කටයුතු කළ ජනපතිට අපේ සහාය දෙනවා

සමෘද්ධිලාභීන්ගේ ජීවිත ඉහළ දමන්න කටයුතු කළ ජනපතිට අපේ සහාය දෙනවා

දිවි නැඟුම වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති

දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවමින් සමෘද්ධිලාභීන්ගේ ජීවිත ඉහළට ගෙන ඒම සඳහා කටයුතු කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් දිවි නැඟුම දෙපාර්තමේන්තු වෘත්තීයවේදීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ආනන්ද ජයපද්ම මහතා පැවසීය.

බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ “අපේගම” ශාලාවේ ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයපද්ම මහතා එසේ පැවසීය. ඒ මහතා තවදුරටත් මෙසේ ද කීය. “තිස් වසරක යුද්ධය නිමාකරමින් මේ රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් කළ සේවය කිසිවෙකුටවත් අවතක්සේරු කරන්න බැහැ.

ගමින් ගමට යමින්, සමෘද්ධි ජනතාව හා සමෘද්ධි නිලධාරීන් සමඟ තවදුරටත් මේ රට හැම අතින්ම ඉදිරියට ගෙන යාම සඳහා මහින්ද රාජපක්ෂ මහතාව නැවතත් බලයට පත්කිරීමට කටයුතු කළ යුතුයි.විරුද්ධ පාර්ශ්වයන් සහෝදර සමාගමක් ගැන කියනවා. බැසිල් රාජපක්ෂ මහතා දිවා රෑ නොබලා වැඩ කරන ඇමැතිවරයෙක්. රට ශක්තිමත් කරන්න ඒ මහතා තම කාලය කැප කරනවා.

යුද්ධයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සොල්දාදුවන් සමඟ රට සංවර්ධනය කිරීම නිසා රටේ හැම තැනම සංවර්ධනය වී තිබෙනවා. සංගමයේ ලේකම් විමල් ආනන්ද මහතා - මහින්ද රාජපක්ෂ මහතා කියන දේ කරන නායකයෙක්. දිවි නැඟුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ වැඩි දෙනෙක් ඊට විරුද්ධ වුණා.

එය කෙසේ හෝ සම්මත කළා. ඒ නිසා අපි මහින්දට සම්පූර්ණ සහාය දෙනවා. සංගමයේ මාධ්‍ය ලේකම් රෝහණ කරුණාරත්න මහතා - මුළු රට පුරා ගම් 14,000 ක සිටින ‍සමෘද්ධිලාභීන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු අප දන්නවා. ඒ නිසා සමෘද්ධිලාභීන්ගේ හද ගැස්ම අප දන්නවා.

ඔවුන් සියලු දෙනාගේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙනවා. දිවි නැඟුම ප්‍රජා මූල බැංකු පද්ධතිය හරහා අද සමෘද්ධිලාභීන් ණය ලබාගෙන විවිධ ස්වයං රැකියාවල යෙදෙමින් ඔවුන්ගේ පවුල ශක්තිමත් කරගෙන තිබෙනවා. දිවි නැඟුම ප්‍රජා මූල බැංකු සංගමයේ ලේකම් ඩී. එම්. ඒ. අයි. බස්නායක, එන්. ඒ. එම්. අබේසිංහ මහත්වරු කතා කළා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා