විදේශීය කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න පෞරුෂයක් ජනපතිතුමාට තිබුණා

විදේශීය කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න පෞරුෂයක් ජනපතිතුමාට තිබුණා

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර

අප කලාකරුවන් 2005දීත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දැක්වූවා. එහිදී අප සියලු දෙනාගේම මූලික ඉල්ලීම සහ අපේක්ෂාව වූයේ එවකට පැවැති යුද්ධයේ අවසානයක් දැකීම. මන්ද එය මුළු මහත් ජාතියටම තිබුණ විශාලම අභියෝගය. කලාකරුවන් ලෙස අපට ඇති වී තිබූ ලොකුම බාධාව වන්නේත් පැවැති යුද්ධයයි.

එවකට සිටි පාලකයන් යුද්ධයෙන් පවා වාසි සලසා ගත්තා මිස එය අවසන් කිරීමට කටයුතු කළේ නැහැ. කාලෙකට යුද්ධ කරනවා. කාලෙකට නිහඬව ඉන්නවා. යුද්ධයක් අවසන් කිරීමට නම් කිසිදු බලපෑමකට යටත් නොවී රට ගැන සිතා අභියෝගවලට මුහුණ දිය යුතුයි.

නමුත් එදා ඒ සඳහා සුදුසු දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසයි 2005දීත් අප වේදිකාව මත නැගලා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනපති කරන්න එක්වන්න කියලා. එතුමා ජනාධිපති වු‍ණා වගේම රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු කළා. ඒ වසර 30ක යුද්ධය නිමා කරලා.

එතුමාටත් දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ හා බලපෑම්වලට මුහුණ දෙන්න වුණා. නමුත් ඒවාට යට නොවී කෙළින් සිටින්න තරම් වූ පෞරුෂයක් සහ රට ගැන රටේ වෙසෙන ජනතාව ගැන එතුමාට හැඟීමක් තිබුණා. මේ මගේ රට, මේ මගේ ජනතාව මම ඔවුන්ගේ භාරකරු. ඔවුන්ට මම මේ රට නිදහස් කර දිය යුතුයි කියන තිර අදිටනින් එතුමා කටයුතු කළා.

ඒ නිසයි අද යුද්ධය නිමා වූ නිදහස් රටක අප ජීවත් වන්නේ. අද අප යම් කිසි ස්ථායි බවකට ළංවී තිබෙනවා. හිතුවාටත් වඩා වේගයකින් රටේ සංවර්ධනය ඇති වුණා. වෙනදාට මහමඟ පැය ගණන් රස්තියාදු වූ ජනතාවට අද පැයක් එකහමාරක් ඇතුළත තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන් වෙලා තිබෙනවා.

රටේ කොතැන ගියත් බියෙන් සැකෙන් තොරව යන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ ටිකම මදිද ජනාධිපතිතුමාට තෙවැනිවරටත් මේ රටේ ජනපති ලෙස පත්වීමට. මේ රටේ සංස්කෘතික පුනරුදය ඇතිවීමට නම් කලාව ආරක්ෂා විය යුතුයි. කලාවෙන් අධ්‍යාපනයෙන් පරිපූර්ණ වූ සංස්කෘතියක් සහිත වටපිටාවක් තුළ තිරසාර සංවර්ධනයක් කරා යන මේ ගමන අඩාල නොවීමට නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත පත්විය යුතුයි යන්න අපගේ දැක්මයි.

2005 ඉඳන් වසර දහයක් ගත වුණේ යුද්ධ කරන්න.මේ සංවර්ධනය ආරම්භ කරලා තවම වසර 5යි. නමුත් වසර 10ක වැඩ දැනටම කර අවසන්. පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතා පුද්ගල නාමය පිළිබඳ අපකීර්තියක් නොතිබුණාට ඔහු වටා සිටින අන් අය පිළිබඳව නම් අපට තිබෙන්නේ ගැටලුවක්. වරක් රට අරාජික කළ මේ අයට නැවත පාලනය යාවි කියන ප්‍රශ්නාර්ථය අපට ඉතිරි වනවා.

ඔහු වටා ඉන්න මේ අයගේ බලපෑමකින් තොරව රට ගෙනියන්න පුළුවන් වන්නේ නැහැ. එම නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නැවත එල්.ටී.ටී.ඊ. යට හිස ඔසවන්න ඉඩතියන්න එපා. විදේශීය කුමන්ත්‍රණ වලින් අප රට නැවත අස්ථාවර වන්න ඉඩ නොතියා මෙවරත් ජනාධිපතිතුමාට ශක්තිය ලබා දෙන්න.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා