කොළොන්නාවේ ප්‍රගතිශීලී පිල දැන් සමගියි

කොළොන්නාවේ ප්‍රගතිශීලී පිල දැන් සමගියි

අජිත් සුබසිංහ

මේ ජනාධිපතිවරණයේදී කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පැරැණි හා අලුත් දේශපාලනඥයින් සියලු දෙනාම එකම වේදිකාවක් මතට නැඟී සිටීම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වීමේ පෙර නිමිත්තක් බව ද එයට එකම හේතුව වූයේ පක්ෂයට කෙණෙහිලිකම් කරපු‍ දෙදෙනාම එම පක්ෂය හැරයාම බවද පසුගිය පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු අජිත් සුබසිංහ මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීම සඳහා ගොතටුව නවනගරයේ පිහිටි “කොළොන්නාව ශ්‍රී.ල.නි.ප. යේ අපේ මහ ගෙදර” ශාලා භූමියේදී පැවැති ජන රැලියට සහභාගීව කරන ලද කතාවේදීය.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී මෙම ආසනයේ තිබුණු අපේ පක්ෂයේ ගැටුම්කාරී ස්වභාවය දුටු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දුරදක්නා නුවණින් යුතුව තමාට මැදිහත්කාර අපේක්ෂකයෙකු වශයෙන් ආසනයට තරග කරන ලෙස කරන ලද ආරාධනය පිළිගෙන මැතිවරණයට මුහුණ දුන් අතර අපතේ යාමට තිබූ ඡන්ද විසි දහසකට අධික සංඛ්‍යාවක් පක්ෂයට ගෙන දුන් බව ද කී සුබසිංහ මහතා එදා එම ගැටුම තම පක්ෂයට තිබූ මන්ත්‍රී ආසන දෙකක් අහිමි කිරීමට හේතුවූ බව ද කීය.

මෙවර ජනාධිපති වරණයේදී එසේ නොමැතිව ආසන සංවිධායක ධුරය හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන නාවලගේ බැනට් කුරේ මහතා ප්‍රධාන කොට සියලුම පාක්ෂිකයින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන එකාවන්ව සිටීම සතුටට කරුණක් බව ද කීහ.

කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පක්ෂයට ආදරයක් තියෙන අයෙක් කිසිදාක පක්ෂය මාරුකර යන්නේ නැහැ. අද භීෂණයක්, දූෂණයක් තියෙනවා කියන්නේ අවුරුදු තිහක් තිස්සේ තිබුණු යුද්ධය අවසන් කරපු එකද, නැතිනම් රට සංවර්ධනය කරන එකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ පසුගිය කාලය පුරාවට රටේ අවුල් ඇති කරන්න කටයුතු කරපු අයයි.

කවුරු ගියත් අපේ ජනාධිපතිතුමා අති විශිෂ්ට ජයග්‍රහණයකින් මෙවර තුන්වැනි වරටත් මේ රටේ ජනාධිපති වීම ඒකාන්තයි. ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක දුෂ්‍යන්ත පෙ‍රේරා, හිටපු පළාත් සභා මන්ත්‍රීනි අසෝකා ලංකාතිලක, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වන ප්‍රින්ස් ගුණසේකර, සෞම්‍ය රත්නායක, හේමසිරි අමරසිංහ මහත්වරුද මෙම රැලිය ඇමතූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා