ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ගීතය එළි දැක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ගීතය එළි දැක්වෙයි

ලබන වසරේ පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආරම්භවීමට නියමිත 2015 ලෝක කුසලාන එක්දින තරගමාලාවේ ශ්‍රී ලංකා ජයග්‍රහණය පතා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ගීතය එළි දැක්වීම පෙරේදා පස්වරුවේ කොළඹ සී.ආර්. ක්‍රීඩාංගණ‍යේ දී සිදුකෙරිණි.

දැවැන්ත සංගීත ප්‍රසංගයක් සමග 'ශ්‍රී ලංකා අපි තමයි' ශ්‍රී ලංකා නිල ලෝක කුසලාන ගීතය එළිදැක්වීම සිදුවූයේ අතිවිශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් මධ්‍යයේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන ඩය‍ලොග් ඇක්සියේටා සමාගමේ මෙහෙයවීමෙන් පැවැති මේ උත්සවයට ජාතික ක්‍රිකට් පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුලු සියලුම ක්‍රීඩකයන් එක්වී සිටියහ. එහි දී ලෝක කුසලාන නිල ගීතය ගැයීමට මෙරට ජනප්‍රියතම ගායක ගායිකාවන් පිරිසක් එක්වූහ.

'ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ අභිමානයයි. 'ශ්‍රී ලංකා අපි තමයි..ජාතියේ පැතුම ඔබ තමයි...' ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන නිල ගීතය නිර්මාණය කිරීමේ අරමුණ වූයේ එකම ජාතියක් ලෙස අපි සියලුදෙනා එකම සිතින් කරන ආශිර්වාදය ඔවුන්ට ජයග්‍රහණය කරා යාමට බලයක්, ශක්තියක් වන බවට කිසිම සැකයක් නෑ.' ගීතය එළිදැක්වීමේ උත්සවයට එක්වූ ඩයලොග් ඇක්ෂියේටා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරීනී අමලි නානායක්කාර මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජාත්‍යන්තර ගීත රචක ජෝයි ලුවිස් විසින් නිර්මාණය කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන නිල ගීතය ඉදිරියේ දී මෙරට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරය කෙරෙනු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා