රටට ද්‍රෝහී වූ නඩය අද විරුද්ධ පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන රට විනාශ කිරීමට කටයුතු කරනවා

රටට ද්‍රෝහී වූ නඩය අද විරුද්ධ පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන රට විනාශ කිරීමට කටයුතු කරනවා

 - ඇමැති විමල් වීරවංශ

රටට ද්‍රෝහී වූ නඩය අද විරුද්ධ පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන රට විනාශ කිරීමට කටයුතු කරන බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා කීයා සිටි. විමල් වීරවංශ ඇමැතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සහය පළ කිරීම සඳහා කඩුවෙල ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය මාළඹේ අරංගල 10 කණුව පුදේශයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

රට බෙදන්න හොර සටන් විරාම ගිවිසුම් ගහපු රනිල් සුනාමි සහන මණ්ඩලය එල්.ටී.ටී ඊ යට දෙන්න ගිය චන්ද්‍රිකා, වික්‍රමබාහු වැනි අය ගැන කතා කරල වැඩක් නැහැ, මනෝ ගණේෂන් එතුමා සටන් විරම ගිවිසුම කාලේ ප්‍රභාකරන්ව බැහැ දැකලා එනවා.ජාතික හෙළ උරුමය කියන පරිදි අසාත් සාලි අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරය නියෝජනය කරනවා. මේ නඩය රට බේරා ගන්න යුද්ධ කරන වෙලාවේ සහයෝගය දුන්නේ නැහැ.

දැන් සම්බන්ධන් මහත්තයා හොරගල් අහුලනවා. සිරිසේන මහත්තයාට සහයෝගය දෙනවා කියලා කෙලින්ම කිව්වොත් දකුණේ සිංහල ඡන්ද සිරිසේන මහත්තයට අඩුවෙන බව දන්නවා. ඒ නිසා මෙවර අපි කාටවත් නොපෙනෙන්න ඡන්ද ටික දීලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරද්දලා ඒ අයගේ අරමුණ ඉටුකරගන්න බලනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්තයට කෙළින්ම හිටගෙන සහයෝගය දීලා අසාර්ථක වුණ නිසා අද දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, තාලෙට හිටගන්න බලනවා. ඒ රෑට රෑට ගිහින් සහයෝගය දීලා හිට ගන්න ක්‍රමයට.

කඩුවෙල කියලා කියන්නේ 2005 හා 2010 දි ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත සහයෝගයක් දීපු ආසනයක්. කොළඹින් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයට වැඩියෙන් ඡන්ද ලැබෙන කොට ඒ ඡන්ද පරතරය අඩු කරන්න ආණ්ඩුවේ අපේක්ෂකයාට වැඩියෙන් ඡන්ද ලබාදෙන එක් ප්‍රධානතම ආසනයක් තමයි කඩුවෙල කියන්නේ. ඒ පෙර වතාවන් අනුව යමින් මෙවරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහනයක් කිරීම සඳහා කඩුවෙල ජනතාව සුවිශාල දායකත්වයක් ලබාදීමට සුදානම් බව අපි දන්නවා.

එක කාලයක් තිබුණා ජනාධිපති අපේක්ෂකයා සැඟවුණු අමුත්තා වගේ හිටියා. පාරෙ යන අයගෙනුත් පිටට තට්ටුකරල ඔයාද පොදු අපේක්ෂකයා කියලා අහන්න පටන් ගත්තා. ඒ සැඟවුණු අමුත්තා නාඩගම පෙන්නලා එක පාරටම සිරිසේන මහත්තයව මෙහෙට ගත්තා. චන්ද්‍රිකා නෝනා විශ්‍රාම ගියාට දේශපාලන තන්හාව ඉවරකරගෙන නැහැ. තන්හා රති රඟා කියලා මේ දයස්වල චිත්‍රපටියක් පෙන්නනවනේ එතුමිය තාම ඉන්නේ ඒ චිත්‍රපටියේ ජවනිකාවක. ඉතින් එතුමියට මේක අතහැරලා යන්න බැහැ. කොහෙන් හරි අල්ල ගන්න ඕනේ. ඒ සඳහා ගියපාර ෆොන්සේකා මහත්තයව අරගෙන ආවා. මේ පාර මෛත්‍රිපාල මහත්තයාව අරගෙන එනවා.

මම දැක්කා කොහෙද ලියලා තිබුණා දුක යනු ෆොන්සේකා රෑ වැටුනු වලේ සිරිසේන දවල් වැටිමය කියලා. අද ගම්වල දේශපාලන යාන්ත්‍රණයක් නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයෝ බලාගෙන ඉන්නවා අපි මොකටද චන්ද්‍රිකාගේ බළියක් දිනවන්නේ කියලා. චන්ද්‍රිකා නෝනව කාටද විශ්වාස කරන්න පුළුවන්.  2004 රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව පැවති වෙලාවේ විධායක බලය තිබුනේ චන්ද්‍රිකා මැතිණියගේ අතේ. එතුමිය ඒ අවස්ථාවේ ඇමෙරිකානු තානාපතිටත් පොරොන්දු වුණා, රනිල් වික්‍රමසිංහ මහත්තයටත් පොරොන්දු වුණා, කරු ජයසුරිය මහත්තයටත් පොරොන්දු වුණා ඒ පොරොන්දුව අරන් රනිල් වික්‍රමසිංහ මහත්තය පාඩුවේ හිටියා. කරු ජයසුරිය මහත්තයා ගෙදර ගිහින් නිදා ගත්තා.

ඔන්න එකපාරට රනිල්ට කරු ජයසුරිය මහත්තයාට දුරකතන ඇමැතුම් ආවා නෝනා විසුරුවන්න යන්නේ කියලා. ඒත් රනිල් කරු කිව්වා නෝනා විසුරුවන්නේ නැ කියලා. අපිට පොරොන්දු වුණා, ඒ නිසා විසුරුවන එකක් නැහැ කියලා. ඒත් නෝනා කිව්වදේ කළාද? විසිරෙව්වේ නැද්ද? ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ කල්පනා කරනවා මේ නෝනාගේ ගෝලයාට අපි ඡන්දේ දාලා දිනෙව්වොත් මිනිහා දිනලා විධායක බලතල අතහරි කියලා.

එ කාලේ තිබුනේ ඡන්දයක් එනකොට ජයසිකුරු පටන් ගන්න. ඡන්දේ ඉවරවුණ ගමන් සුදු නෙළුම පටන් ගත්තා. ඒ යුද්ධය තාම තිබුණා නම් අපේ දරුවෝ තාම මැරෙනවා. ගම්වලට තාම මළකඳන් එනවා. . ඒ අය හිටියානම් මෙලහකට මේ රට ඉවරයි. වික්‍රමසිංහ මහත්තය සටන් විරාම ගිවිසුම ගැහුවා. චන්ද්‍රිකා නෝනා සුනාමි සහන මණ්ඩලය හරහා L.T.T.Eයට මූල්‍ය පාලන බලය ලබා දෙන්න ගියා. අපි උසාවියට ගිහිල්ලා ඒවා නතර කළා.

උතුරු පාළාත් සභාවේ ශෂිදරන් මන්ත්‍රිවරිය දෙමළ ගෝලීය නාලිකාවක් සමඟ සාකච්ඡාවේදි කියනවා උතුරේ දෙමළ ඡන්දවලින් තමයි මෙවර ජනාධිපතිවරයා පත්වෙන්නේ කියලා. ඒ පත්වන ජනාධිපතිත් එක්ක ප්‍රභාකරන් නතරකරපු තැනින් අපි සාකච්ඡා පටන්ගන්නවා කියලා. උතුරු පළාත් සභාව බලාගෙන ඉන්නේ පොලිස්, ඉඩම් බලතල ගන්න. ඒ වගේම උතුරු නැ‍ඟෙනහිර පළාත් යළි ඒකාබද්ධ කරන්න. ජනාධිපතිතුමා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි ආණ්ඩුකාරතුමාට කියලා ඒ තත්ත්වය ඇතිවීමට ඉඩ නොදි පාලනය කරගෙන ඉන්නවා. දැන් ඒ අයට ඕනේ කරගන්න බැරිදේවල් ටික කරගන්න පුළුවන් ජනාධිපති පඹයෙක්.

මෝඩි එතුමාගේ ඇඳුම අදින්නේ ඒක එතුමා පුංචි කාලේ ඉඳලා ඇදපු ජාතික අනන්‍යතාවය සහිත ඇඳුමක් හින්දා. ඉතින් ඒ මෝඩි අදින එක ඇයි අපි අදින්නේ. ඒ කෙන්ම පොනෙන‍්නේ මෛත්‍රිපාල මහත්තයාට ස්වාධීන අදහසක් නැහැ කියලා.මං ඒත් බැලුවා ඉන්දියාවේ අපේක්ෂකයෙක් මෙහේ ඇවිල්ල ද කියලා. මීට කලින් ජනාධීපතිවරණ තිබුණා චන්ද්‍රිකා නෝනා ඔසරිය, ජේ.ආර් මහත්තයා ජාතික ඇඳුම, ප්‍රේමදාස මහත්තයා ජාතික ඇඳුම, ඩි.බි. විජේතුංග මහත්තයා ජාතික ඇඳුම, මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතික ඇඳුම ඇන්දා. ඒ සේරම ඇදුම් මෙහේ ඒවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇන්දේ ජාතික ඇඳුම නෙමෙයි.

හැබැයි මේ මෛත්‍රිපාල මහත්තයාගේ ඇඳුම මීට පෙර ඒක ජනාධිපති අපේක්ෂකයෙක්වත් ඇඳලා නැහැ. ඒ කෙන්ම පේනවා එයාට තමන්ගේම අදහස් නැහැ කියලා. සිරිසේන මහත්යා කට ඇරලා 13 වැනි සංශෝධනය ගැන මොනවත් කියන්නේ නැහැ. 17 බලාත්මක කරනවා කියලා තමයි එකඟවෙලා තියෙන්නේ. එතුමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ තුන්දොර අරින්නලු. මොකක්ද මේ තුනදොර? එක දොරක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. රනිල් එක්ක කියනවා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. හෙළ උරුමයට කියනවා සංශෝධනය කරනවා කියලා. B.B.C සංදේශයට කියනවා සේනාධිනායක බලය හා පළාත් සභා මෙහෙයවීමේ බලය තියා ගන්නවා කියලා.

එතකොට එහි නිවේදකයා අහනවා අර්ධ විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක් නේද එතකොට නිර්මාණය වෙන්නේ කියලා. එතකොට ආයිත් කියනවා නැහැ කියලා. විධායක බලය අහෝසි කරනවා නම් ඉතිරි වෙන්න ඔනේ නාම මාත්‍රික ජනාධිපතිවරයෙක්. හරියට ඉන්දියවේ වගේ. මෙතන හැදෙන්නේ එහෙම නාම මාත්‍රික ජනාධීපතිවරකේ නොවෙයි. මෙයාගේ අතෙත් බලය තියෙනවා. වැඩක් කරන්න ඕනේ නම් ඒ දෙන්නා එකට එකතු වෙන්න වෙනවා. මෙයා හා කියන කොට අරයා බැහැ කියයි. අරයා හා කියනකොට මෙයා බැහැ කියයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන අය අර්ධ විධායක බලතල සහිත අධිකාරින් දෙකක් හදන්න මේ යන්නේ.

ඊලඟට සමානුපාතික හා කේවල ක්‍රමය දෙකම සහිත ජන්ද ක්‍රමයක් ගේනවලු. මේක දිනේශ් ගුණවර්ධන ඇමැතිතුමා පාර්ලිමේනතු තේරිම් කාරක සභාවට ගෙනාවා. ඒකේ අවසාන් තීන්දුව ගන්න බැරි වුණා. ඒකට එදා පක්ෂ නොවු අය අද ඒක හොඳයි කියනවා. අනික ඔය ඡන්ද ක්‍රමය ආපු ගමන් හැමෝම බලන්නේ හැමෝටම මෙකෙන් මෙකක්ද ලැබෙන තැන කියලා. මන්ත්‍රි ආසන ගනන වැඩි වෙනවද නැද්ද කියලා බලනවා. ගාන වැඩි වෙනවානම් කැමතියි. අඩුවෙනවානම් කැමති නැහැ. ඒක තමයි ක්‍රමය. ඉතින් දින 100 ඇතුළේ මේවා වාද කරලා බේරගන්න පුළුවන්ද?

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 බලයයි ජනමත විචාරනයයි දෙකම ඕනේ. මේ දින 100 ඇතුළත සංශෝධනයක් කරල තුනේන දෙකත් අරගෙන ජනමත විචාරනයකුත් තියන්න පුලුවන්ද? ඡන්ද ක්‍රමය මාස 3න් ගේන්න පුළුවන්ද? බැහැ. එහෙම ආවොත් ඒකට විරුද්ධ වන බලවේග වැඩියි. 17 වැනි සංශෝධනය ගේන වෙලාවේ ඒකට විරුද්ධ වුණේ පාඨලි චම්පික අමැතිතුමායි. දැන් එතුමා එනවා ස්වාධීන කොමිශන් සභා දොර අරින්න. ඒ නිසා වික්‍රමබාහු ටයි, මනෝ ගනේශන්ටයි, සම්බන්ධන්ටයි, ෆෝන්සේකටයි, වික්‍රමසිංහටයි, චන්ද්‍රිකාටයි, සිරිසේනටයි, මුජිබර් රහුමාන්ටයි, අසාද් සාලිටයි කියන එක එක ජාතියේ පිරිසකට එකට එකතු වෙන්න හදපු බොරු මතයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුන්දොර අරින කතාව.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා