මෙතෙර අයගේ එතෙර කුමන්ත්‍රණ

මෙතෙර අයගේ එතෙර කුමන්ත්‍රණ

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග නොවැම්බර් 01 වනදා සිංගප්පූරුව බලා පිටත් වූයේ ඊ. කේ. 654 එමිරේට්ස් ගුවන් යානයෙනි. දෙවැනි දා පාඨලී චම්පික රණවක මහතා ද ඊ. කේ. 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන් සිංගප්පූරුවට පියාසර කළ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කැතේ පැසිෆික් යානයකින් එරටට ගියේය.

පසු දින මෛත්‍රීපාල සිරිසේන මහතා කැතේ පැසිෆික් සී. එක්ස් 610 යානයෙන් ද මංගල සමරවීර මහතා එමිරේට්ස් ඊ.කේ.348 යානයෙන් ද සිංගප්පූරුවට ගියහ. ඒ පාවාදීමේ කුමන්ත්‍රණය පළමු අදියරයේ ගුවන් ගමන් පිළිබඳ විස්තරයයි.

දෙවැනි අදියරයේ දී වික්‍රමසිංහ මහතා යළි සිංගප්පූරුවට ගිය අතර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් සේවයේ යූ.එල්.582 යානයෙන් ගොස් ඔහුට එක්විය. නොවැම්බර් 26 වනදා මේ කුමන්ත්‍රණයට යූ.එල්.882 යානයෙන් සිංගප්පූරුව ගිය නවක සාමාජිකයා වූයේ දිගම්බරම් මහතාය. පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ද සිංගප්පූරුවට ළඟාවූවාය.

ඔවුන් සිංගප්පූරුවේ දී සාකච්ඡා පැවැත්වූ දෙමළ නියෝජිතයන්ගේ විස්තර තවමත් හෙළිදරව් වී නැති නමුත් ඔවුන් අතර එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ ඊනියා රජයේ නායක රුද්‍රකුමාරණගේත්, නෝර්වේ සිට ඩයස්පෝරාව මෙහෙය වන නිදියවන්ගේත්, ගෝලීය දෙමළ සංසදයේ සුරේන්ද්‍රරන්ගේත් නියෝජිතවරුන් ඒ අතර සිටි බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් හෙළිවිය.

සාකච්ඡාවල දී ඇති කර ගත් එකඟතාවය මත එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව මඟින් මේ වනවිට අවශ්‍ය අංශවලට උපදෙස් දී තිබෙන බව ඔප්පු වන්නේ දෙමළ එක්සත් සන්ධානයේ නූතන ප්‍රකාශනයෙනි. කලින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළ පරිදි මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමිය යුතු බව දෙමළ සන්ධානය තරයේ කියා සිටී. එහෙත් ජවිපෙ මෙන්ම දෙමළ සන්ධානය ද තමන් ප්‍රසිද්ධියේ කිසිම අපේක්ෂකයකුට සහාය නොදෙන බව කියා සිටී. ඒ අතර ම දෙමළ සන්ධාන ඡන්ද බලය දෙමළ ජනතාව සතු අයිතියක් බැවින් එය පාවිච්චි කරන ලෙස දෙමළ ජනතාවගෙන් ප්‍රබල ඉල්ලීමක් ද කරයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යවේදීන්ට පැවසූ පරිදි ම ජවිපෙ කියා සිටින්නේ කුමක් දැයි කාටත් පැහැදිලිය. එලෙස ම දෙමළ සන්ධානය දෙමළ ජනතාවට පවසන දෙය ද කාටත් පැහැදිලිය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළින් ම හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාර්ගයෙන් හෝ දෙමළ ඩයස්පෝරාව සමඟ ඇති කරගත් රහස් ගිවිසුමේ වගන්ති මොනවා දැයි සිතා ගැනීම දැන් එතරම් දුෂ්කර නොවනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන ලෙසට කෙලින් ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකර රහසේ ම දෙමළ ජනතාවට දන්වන ලෙස දෙමළ ඩයස්පෝරාව දෙමළ සන්ධානයට දැනුම් දී තිබෙන බව දැන් පැහැදිලිය. එයට හේතුව නම් දෙමළ සන්ධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළහොත් ජාතික හෙළ උරුමයට මෛත්‍රීපාල පිලේ දිගට ම සිටීම දුෂ්කර වන බැවිනි. පාඨලී චම්පික රණවක මහතා ද දෙමළ සන්ධානයේ ප්‍රකාශයට ම අනුකූල ලෙස දෙමළ ජනතාවට ඡන්දය දීමට අයිතියක් තිබෙන බව පිළිගන්නේ යැයි පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

හෙළ උරුමයත් දෙමළ සන්ධානයත් දැන් කරන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක් බව දේශප්‍රේමී බුද්ධිමතුන්ට අවබෝධ වී ඇති බව නිසැකය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා