ජනතාව බේද බින්න කිරීමට කටයුතු කරන පිරිස් මෛත්‍රීපාල වටා එක් රොක් වී සිටිනවා

ජනතාව බේද බින්න කිරීමට කටයුතු කරන පිරිස් මෛත්‍රීපාල වටා එක් රොක් වී සිටිනවා

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව බේද බින්න කිරීමට කටයුතු කළ අන්තවාදී අදහස් දරන්නවුන් මේ වන විට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක් රොක් වී ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ..

ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන දෙමළ බෙදුම්වාදය ඉතා බිහිසුණු බැවින් මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ආරක්ෂාව ගැන සිතමින් ඡන්දය ලබාදිය යුතු යයිද උන්වහන්සේ කීහ. ඥාණසාර හිමියෝ මේ අදහස් පළ කළේ පෙරේදා ( 16 ) කිරුළපනේ බොදුබල සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

අපේ රටට එරෙහිව මේ මොහොතේ භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. බොදුබල සේනා සංවිධානය අපහසුවට පත්වන ආකාරයේ ප්‍රකාශ විවිධ පුද්ගලයන් කරනවා. සමහර ඒවා චන්ද්‍රිකා මහත්මියගේ ප්‍රොජෙක්ට් 'ඊ' වශයෙන් හඳුන්වන් පුළුවන්. අප ප්‍රකාශ කරන සමහර කරුණු වැරදි ආකාරයෙන් වාර්තා කරන මාධ්‍යයන්ද තිබෙනවා. සිංහලයා ශක්තිමත්ව සිටියොත් දමිළ, මුස්ලිම්, බර්ගර් ජනතාවට හොඳින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

වර්තමානයේ බෝම්බ හඬ ඇසෙන්නෙ නැහැ. ඒත් මෙරට හා ජාත්‍යන්තරයේ රටට එරෙහිව සිදුවන නිහඬ කුමන්ත්‍රණ පිළිබඳව අප විමසිලිමත් විය යුතුයි. මෙම කුමන්ත්‍රණ වලට දේශීයව සම්බන්ධ වන්නන් බලයට ආවොත් රටට සිදු වන්නෙ විනාශයක්. රටේ සම්ප්‍රදායක්, ඉතිහාසයක් දන්නෙ නැති පිරිස් තමා මොවුන් සමග සිටින්නේ.

අවුරුදු තිහක යුද්ධය දැන් අවසන්. අපට ඉතා හොඳ බුද්ධි අංශයක් තිබෙනවා. රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී කොටස් පිළිබඳව දිගින් දිගටම සොයා බලන්න කියා අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. හැම දේටම රටේ නායකයාට ඇඟිල්ල දිගු කරල වැඩක් නැහැ. රට ජාතිය විනාශ කිරීමට කටයුතු කරන අලුගෝසුවන්ව පරාජය කළ යුතු යයිද ඥාණසාර හිමියෝ කීහ.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය දිලන්ත විතානගේ මහතා පැවසූයේ පසුගිය කාලයේ පැවැති ත්‍රස්තවාදය නිසා මිනිස් ජීවිත වලට, දේපළ වලට සිදුවූ හානිය දැන් බොහෝ දෙනෙකුට අමතක බවයි. බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා