හිටපු ජනපතිනි චන්ද්‍රිකා ඩයස්පෝරාවේ රූකඩයක්

හිටපු ජනපතිනි චන්ද්‍රිකා ඩයස්පෝරාවේ රූකඩයක්

- ඇමැති බන්දුල ගුණවර්ධන

එල්ටීටීඊ ඩයස්පෝරාව රාජපක්ෂ රෙජිමය පලවා හැරීමේ පොදු අපේක්ෂක කොන්ත්‍රාතුව දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බවත් ජාත්‍යන්තර ඊළාම්වාදීන්ට වඩාත්ම හිතවත් දේශපාලන භූමිකාවක උරුමව ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ එල්ටීටීඊය සමඟ සාකච්ඡා කිරීමට ස්වකීය ස්වාමි පුරුෂයා වූ මහජන පක්ෂයේ විජය කුමාරතුංගයන් පිටත් කර යැවුවේ චන්ද්‍රිකා බව පැවසූ ඇමැතිවරයා විජය දිගින් දිගටම බෙදුම්වාදීන් සමඟ ලෙන්ගතු සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිරපරාදේ ඔහුට මැරුම් කෑමට සිදු වූ බව කීවේය.

අවශ්‍යයෙන්ම ජීවත් විය යුතු මානව හිතවාදියෙක් වූ විජය කුමාරතුංගයන් මරණයේ මාවතට යොමු කර වූයේ චන්ද්‍රිකාව බව පැවසූ ඇමැතිවරයා 1994 දී බලයට පැමිණීමට පෙර දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණෙන් පන්නා දැමුවේ ද චන්ද්‍රකා බවත් සුදු නෙළුම, තවලම තුළින් දකුණේ ජනමතය කොටි හිතවාදී ලෙස වෙනස් කිරීමට උත්සාහ දැරු ද බවත් කීය.

ඊලාම්වාදින් පෙළඹීමට පෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනා නමුත් පාර්ලිමේන්තුවේ දී එය පුළුස්සා විනාශ කර දැමූ බවත් කීවේය. පසුගිය දා මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමයේ කහතුඩුව, වෑතර, වෙනිවැල්කොළ, පහලගම, පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ, පැවති ඡන්ද රැස්වීම් මාලාවක් අමතමින් හෝමාගම ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනමහතා මෙසේ දපැවසීය

රනිල් වික්‍රමසිංහ සමඟ පැවති දැඩි සම්බන්ධය සටන් විරාම ගිවිසුම කැබිනට් එකේ හා පාර්ලිමේන්තුවට හොරෙන් ගෙන ඒම සංවිධානය කළේ චන්ද්‍රිකායි. බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇගේ ක්‍රියාකාරකම් සියල්ල අසාර්ථක වී දේශපාලනයෙන් විසිවුණ චන්ද්‍රිකා මැතිනිය එල්ටීටීඊ ඩයස්පෝරාව නිවැරැදිව තෝරාගෙන ශ්‍රී ල.නි.ප. යළි කඩාබිඳ දමා පොදු අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තෝරා ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූයේ ඇයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් 64දෙනෙක් නියත වශයෙන් විපක්ෂයට ලබාදෙන බව චන්ද්‍රිකාගේ ප්‍රධාන පොරොන්දුව විය. පොරොන්දුව ඉටු කළ නොහැකි වූ විට පසුගිය 24වැනි දින නියත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් 21 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් විපක්ෂයට එකතු වන බව දිවුර දිවුරා පසක් කළා. නමුත් මේ කිසිවක් ඉටු නොවූ තැන හොරගොල්ලට යන අපේ සිරිසේන ඇමැතිතුමා දැන් නිතර නිතර චන්ද්‍රිකාට කියන්නේ මට නුඹ විතරක් උනාට- මට ඉන්නේ නුඹ විතරද යන්නයි.

සිරිසේන ඇමැතිතුමාට ඇති එකම පිළිසරණ ඔහුගේ ලෝකයට පායන හිරුත්, සඳුත්, චන්ද්‍රිකාත් පමණය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සහායට එල්ටීටීඊ ඩයස්පෝරාව, ටී.එන්.ඒ., රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, වැනි බොහෝ දෙනෙක් සිටී. ඔහු වෙනුවෙන් පක්ෂ කාර්යාල ගැසීමට කොඩිවැලක් එල්ලීමට බැනර් දැමීමට, ගෙන් ගෙට යාමට, කිසිවකු එන්නේ නැහැ.

එදා සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විට ඔහු තනි නොකිරීමට විපක්ෂයේ සියලු දෙනා වගබලා ගත්තා. සරත් ‍‍ෆොන්සේකා වෙනුවෙන් ජනාධිපතිවරණ සටන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කරට ගත්තා. මුස්ලිම් කොන්ග්‍රසය දිගම්බරම් වැනි කඳුරට ද්‍රවිඩ නායකයන් සියල්ලෝම ෆොන්සේකාට සහාය වුණා. මේ සියලු දෙනා නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ පරාජය වන බවට මහා ජනතා රැල්ලක් පෙන්නුවා.

නමුත් සිරිසේන ඇමැතිතුමා මෙන් තනි නොවූ ෆොන්සේකාට ලැබුණු ඡන්ද ප්‍රමාණය මෙරට ජනතාවට අමතක නැත. පළමු වතාවට වඩා වැඩි ඡන්ද දහඅට ලක්ෂයක් ගියවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වරක් ජනාධිපති ධූරයට පත් වන්නේ වැඩි ඡන්ද ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් බව සහතිකයි. හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන බන්දුල ඉලේපෙරුම, ඩික්ෂන් ගාමිණි, සේනක උබේසිංහ, කැලුම් ප්‍රියංකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, නීතිඥ මංජුල මාකුඹුර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා