මෙවර ජනාධිපති මැතිවරණ සටන පවතින්නේ වැඩ කළ මහින්දත් වැඩ නොකළ මෛත්‍රිත් අතරයි

මෙවර ජනාධිපති මැතිවරණ සටන පවතින්නේ
වැඩ කළ මහින්දත් වැඩ නොකළ මෛත්‍රිත් අතරයි

- එල්ලාවල මේධානන්ද හිමි

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ වැඩක් කළ මහින්ද රාජපක්ෂ මහතා සහ වැඩක් නොකර නිකං බලා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ.

“1946 වැනි කාලයක ආරම්භ කැරුණු එජාපයට ජනාධිපතිවරණයට එන්න කෙනෙකු නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කඩාගන්නේ පක්ෂයට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, දරදිය ඇද්ද අය නැති නිසාද? මෙය එජාප පාක්ෂිකයන්ට කළ ලොකුම අපහාසයක් සහ නින්දාවක් යැයි ද” මේධානන්ද හිමියෝ පැවැසූහ.

මේධානන්ද නාහිමියන් එසේ පැවැසුවේ “ජනපති විජයග්‍රහණය මහරගම සමුළුව” අමතමිනි. මහජන එක්සත් පෙරමුණ මඟින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී මේ සමුළුව කැඳවා තිබුණි.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

“මේ දිනවල රජරටට රජෙක් ඕනෑ යැයි විපක්ෂ ජනපති අපේක්ෂක වේදිකාවේ කතාවක් යනවා. රජරටින් රජෙක් හැදුණේ කොයි වර්ෂයේ ද, නම මොකක්ද?” මෙතෙක් එවැන්නක් සිදු වී නැහැ. ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ බිහිවුණ රජුන් 186ක් රට පාලනය කළා. ඒ එක් අයෙකුවත් රජරටින් බිහිවූ අය නොවෙයි. මේ කටකතාව විශාල අර්බුදයක්, කලබගෑනියක් සිදුකිරීමේ, රට අස්ථාවර කිරීමේ අරමුණ ඇතිව කරන්නක් බව රටවැසියා තේරුම් ගත යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාව මේ රටේ ජනතාව ජනපති ලෙස පත්කළේ ත්‍රස්තවාදයෙන් රට ගලවා ගත්ත නිසායි. එතුමා ඒ පොරොන්දුව ඉටුකළා. එතුමා කල්පනා කළා ඊට පස්සේ රට සංවර්ධනය කළ යුතුයි කියලා. අද බලන්න මොන තරම් සංවර්ධනයක් වෙලාද? කසිකබල් පාරවල්, පොල්අතු කඩවල්, කුණු ගොඩවල් තිබූ මේ මහරගම තත්ත්වය දිහා අද බලන්න. රටේ කොහේත් මේ විදිහයි.

පසුගිය වසර දහයේ ලබා ඇති මේ දියුණුව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. ජනාධිපතිතුමා පරාජය කරන්න ඕනෑ යැයි දැන් තර්කයක් තියනවා. එතුමා පරාජය කර යුද්ධාධිකරණයට ගෙන යා යුතු යයි කියනවා. මෙය 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා දී ඔහු විනාශ කිරීමට කටයුතු කළ දේශද්‍රෝහීන්ගේ, ජාතිද්‍රෝහීන්ගේ ක්‍රියාකලාපය හා සමානයි.

මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රබල චරිතයක් යයි සමහරුන් කියන චරිතයට බලය තිබූ කාලයේ දී කළ නොහැකි වූ දේ ඉදිරියේදී සිදුකරාවි යැයි හිතන්න පුළුවන් ද? සම්බන්ධන් - චන්ද්‍රිකා කුමාරතුංග ගිවිසුම මොකක්ද කියා ජනතාවට හෙළි කළ යුතුයි.

මහා සංඝරත්නයට නව වාරයක් පූජා කළ මේ ලක්බිම ගැන අපට වේදනාවක් තියනවා. අපිට ‍ඓතිහාසික වගකීමක් තියනවා. මහා සංඝරත්නය මේ තීරණාත්මක අවස්ථාවේ ඉදිරියෙන් ම සිටින්නේ ඒ නිසායි. සමහරු හිතනවා ඇති මට මෙහෙම කතා කරන්න සෑහෙන්න වාසි ඇති කියා. තඹ අලුත්කාලක දෙයක් මම අරගෙන නෑ. අපිට රට ගැන, ආගම ගැන, ජනතාව ගැන කැක්කුමක් තියනවා. ඒ හින්දයි මේ කතා කරන්නේ.

ජාතික හා භාෂා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා - දක්ෂිණාංශික අධිරාජ්‍ය ගැති ප්‍රතිගාමී කල්ලි අද මෛත්‍රීපාල සමඟ එකතුවෙලා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික බලවේග එක පැත්තක සිටිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඔහුගේ ජයග්‍රහණයට කටයුතු කරමින් සිටිනවා. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස ඔවුන් ඔළුවේ තබාගෙන කටයුතු කළ යූ. එන්. පී. ය පරදවා බිහි වූ 1956 රජය මෙහෙය වූ බණ්ඩාරනායක මහතා වසර දෙකක් ගතවෙන්නටත් පෙර මරා දැම්මා.

එය කළේ දක්ෂිණාංශයයි. ඒ හෙවණැලි අදත් ක්‍රියාත්මකයි. එය අපි තේරුම් ගත යුතුයි. ප්‍රභාකරන්ට යට නොවී වසර 30 ක යුද බිය නැතිකළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සෙසු පළාත්වලට සමානව උතුරු නැ‍ඟෙනහිර සංවර්ධනයට කටයුතු කළා. ඒ වන විට පරදින බව දැන දැනත් උතුරු පළාත් සභා ඡන්දයෙන් නියෝජිතයින් තෝරාගැනීමට ජනතාවට ඉඩ ලබා දුන්නා.

කොමියුනිස්ට් පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා - ජනාධිපති අපේක්ෂකයෙක් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය, කොමියුනිස්ට් පක්ෂයේ නායක පීටර් කේනමන් මහතාගේ ඡන්දය පවා හොරට දැමූ වාතාවරණය වෙනස් කර, ඡන්දය දීමේදී හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ ක්‍රමය ඇතිකිරීමට හැකි වුණේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා හා අප දැක්වූ උනන්දුව නිසායි. කොළඹ නගරයෙන් එජාපයට ලැබෙන හොර ඡන්ද දැමීම මේ නිසා වැළකීමට හැකි වුණා.

මහජන පක්ෂයේ සභාපතිනි ඩල්සි සිල්වා මහත්මිය - “කෝටි ප්‍රකෝටි ගණන් වැය කළ යුද්ධය නැවැත්වීමට හැකි වුණේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. ආර්. ප්‍රේමදාස මරා දැමූ, ගාමිණි දිසානායක මරා දැමූ, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ දකුණු ඇස නැති කළේ කොටි ත්‍රස්තයන්. ඔවුන් ද්‍රවිඩ නායකයන් පවා මරා දැමුවා. එල්. ටී. ටී. ඊ‍. යේ මේ ත්‍රස්ත ක්‍රියා නැවැත්වූයේ මහින්දයි. නැවතත් එවැනි තත්ත්වයකට එන්න අපි කැමතිද? ජනවාරි 8 බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය විතරක් නොවෙයි, යූ. ඇන්. පී.ය වෙඩි තබා අපවත් කළ දඹරාවේ රතනසාර හිමියන් ද මතක් වෙනවා. ඒ 1966 ජනවාරි 08 යි. අපි නැවතත් ඒ කාලයට යනවාද?

ජලසම්පාදන ජලාපවහන ඇමැති මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා - වසර දෙකක් බලයේ සිටි රනිල් කළේ කොටින්ට රට භාරදීමයි. එවැනි නායකයකුට පාලනය ලබාදීමට එජාපයේ නිල නොලත් අපේක්ෂකයා ලෙස කටයුතු කරන්නේ මෛත්‍රීපාල සිරිසේනයි. ඔහුගේ රැස්වීම් සංවිධානය කරන්නේ එජාපයයි. සිරිසේන බොරු කකුල් අපේක්ෂකයායි.ප්‍රගතිශීලී ජයග්‍රහණයන් ආපස්සට හැරවීමේ කුමන්ත්‍රණ බිහිකිරීමේ ඉතිහාසයක් ඇති එජාපය ප්‍රමුඛ ධනපති බලවේග, ජාතිද්‍රෝහි, දේශද්‍රෝහි බලවේග අද හිස ඔසවමින් ඉන්නවා.

රැකියා විරහිත තරුණයන්, උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීම, විශ්‍රාමිකයන් සඳහා ලබා දුන් සහන, රටේ සංවර්ධනය සිදුවූයේ මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ රජයෙන්. එතුමාගේ ජයග්‍රහණය අපි සහතික කරමු. බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර මහතා ද මෙහිදී කතා කළේය.මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසී ජනතාව, පළාත් සභා සහ නාගරික මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා