පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ නායකයා ජනපති මහින්දයි

පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ නායකයා ජනපති මහින්දයි

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ එකම රාජ්‍ය නායකයා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ඩෙල්ෆ් දූපතේ, නෙල්ලිඅඩි, කයිට්ස් දූපත දක්වා ද්විතීයික පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කරමින් කිසිදු දිනක ලබානොදුන් භාෂාගාර, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාර, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකක, ගණිතාගාර, විද්‍යාගාර ලබාදී තිබෙන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ සම්මාන හා සහතික ප්‍රධානය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

2013 සහා 2014 වර්ෂයන්වල ජාතික මට්ටමේ ජයග්‍රහකයන් 150 දෙනෙකු සඳහා සඳහා මේ සම්මාන හා සහතික පිරිනැමීම සිදු විණි. වාර්ෂිකව කාණ්ඩ 3ක් යටතේ මේ තරගය කලාප මට්ටමින් හා පළාත් මට්ටමින් තේරී පත් වන සිසුන් ජාතික සංචිතයට ඇතුළත් කරනු ලැබේ.

එදා ශ්‍රී ලංකාවටත් වඩා පහළ ආර්ථික මට්ටමක සිට කොරියාව අද ලෝක ආර්ථික බලවතුන් අතර 12 වැනි තැනට පැමිණ සිටින්නේ අධ්‍යාපනයේ සිදු කළ දැවැන්ත වෙනස තුළ බව පෙන්වා දුන් ඇමැතිවරයා අද ලෝක බලවතුන් බවට පත්වී සිටින රටවල් ගණිතය, වාණිජ, තාක්ෂණය යන විෂයන් රැඩිකල් ලෙස වේගවත් වෙනසකට ලක් කර තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72ක එකම විද්‍යා අංශයක්වත් නොතිබුණු අතර නගරයේ ජනප්‍රිය පාසල් 56ක පමණක් සියලු අධ්‍යාපන පහසුකම් සීමා වී තිබුණු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. විභාගය සමත් ජීවිතය සමත් දරුවන් පිරිසක් ගොඩනැගීමේ ජාතික වගකීම මහින්ද චින්තනය වැඩපිළිවෙළ තුළින් සිදු වන බවත් මේ වන විට ලබාදී තිබෙන පහසුකම් අනුව ගණිත, විද්‍යා, තාක්ෂණ විද්වතුන් රැසක් ග්‍රාමීය ප්‍රදේශවලින් ඉදිරි අනාගතයේදී බිහි වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්.එල්. සුමිතිපාල මහතා, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා පෙරේරා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා