සිරිසේන මේ ගැන කියන්නේ මොකක්ද?

ජේ.ආර්. ගේ විධායකය අහෝසි කරන්නේ නෑ

අහෝසි කරන්නේ මහින්ද ගෙනා 18 වැනි සංශෝධනයයි - රනිල්

සිරිසේන මේ ගැන කියන්නේ මොකක්ද?

ඇමැති නිමල් සිරිපාල ප්‍රශ්න කරයි

* විදේශ බලවේගවල අවශ්‍යතා ඉටු කරන්න ජනතාව රවටා ඡන්ද ගන්න කියන බොරු එළිවෙනවා
* රනිල්ගේ කතාව ගැන චන්ද්‍රිකාට චම්පිකට රතන හාමුදුරුවන්ට කියන්න දෙයක් තිබෙනවාද?

පොදු විපක්ෂයේ නියෝජිතයන් සිංගප්පූරුවට ගොස් රටින් පිටත දෙමළ ඊළාම් රාජ්‍යයේ නියෝජිතයන් හා දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සමඟ එකතුවී ඩොලර්වලට ජනතාව පාවාදීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී රටට හෙළි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ පවසති.

පොදු විපක්ෂයේ චන්ද්‍රිකා, මෛත්‍රී, රතන හිමි, රාජිත, ‍ෆොන්සේකා, මංගල, රනිල් පසුගිය නොවැම්බර් මසදී විටින් විට සිංගප්පූරුවට ගොස් ඇති බවත්, ඔවුන් එහි හෝටල්වල රැඳී සිටියදී රටින් පිටත පිහිටුවාගෙන ඇති දෙමළ ඊළාම් රාජ්‍යයේ ඇමැතිවරුන් දහතුන්දෙනාගෙන් නවදෙනකුම එරටේ රැඳී සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ඔවුහු මේ බව පැවසූහ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා- මෙරට ඉතිහාසයේ දැවැන්තම ජනගඟ ගැලුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ අනුරාධපුර රැස්වීමටයි. එතුමාට රජරට ජනතාවගේ ඇති කැමැත්ත හා සහයෝගය ඒ මහා ජන ගඟෙන් පෙන්නුම් කළා.

ජනාධිපතිවරණයෙන් එතුමා තුන්වැනි වරටත් ජයග්‍රහණය කරවීමට ජනතාව වෙනදාටත් වඩා විශාල උද්යෝගයක් තිබෙන බව පැහැලිදිව පෙනී යනවා. අපි මේවා දකින්නේ එතුමාගේ ජයග්‍රහණයේ පෙරමඟ සලකුණු ලෙසයි. ජනාධිපතිතුමා සෑම මැතිවරණ කොට්ඨාසයක ම ජනතාව ඇමතීමට නියමිතයි. විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දැන් දියාරු වෙලා. බොඳ වෙලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු යැයි කී සෝභිත හිමියන්ගේ සටන් පාඨයේ එල්ලෙමින් සිටි විපක්ෂයට අද මොනවද වෙලා තිබෙන්නේ?

මෛත්‍රී විධායක ජනාධිපති ධුරය දින සියයයෙන් අවසන් කරන බව කියනවිට රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා කියනවා ජේ.ආර්. ගෙනා විධායකය ආහෝසි කරන්නේ නැහැ. අහෝසි කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගෙනා දහ අටවැනි සංශෝධනය පමණයි කියා. මේ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න තිබෙන්නේ කුමක්දැයි අපි අහනවා.

ජනාධිපතිතුමා ගොවි ජනතාවට වතුර ටික දුන්නේ නැහැ. ඒ නිසා රජරට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට ජනාධිපතිතුමාට සාධාරණ අයිතියක් නැතැයි කියා මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනාවක් කර තිබෙනවා. මේ රජය සමයේ ගොවි ජනතා‍වගේ ගොවි බිම් වේලුණාද කියා අපි අහනවා. අපි වතුර ටික දුන්නා. ගොවි ජනතාවට නිසි කලට ජලය, පොහොර ලබා දීම නිසා පිටරට යැවීමට තරම් අතිරේක සහල් ප්‍රමාණයක් නිපදවා ගැනීමට පසුගිය සමයේ අපට හැකිවුණා. එසේ කළ නොහැකි වුණේ නියඟය පැවති අවස්ථාවල පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මේවා කීවේ නැහැ. දැන් තමයි කියන්නේ.

මොරගහකන්ද ජල යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා ඉඩ ‍නොදුන් බවටත් සිරිසේන මහතා දැන් ‍චෝදනා කරනවා. මහවැලි මහා සැලැස්මෙන් සියයට හතළිහක් පමණයි එජාපය අවසන් කළේ. ඉතිරි සියයට හැට අවසන් කළේ අපගේ රජයයන් යටතේයි. වාරිමාර්ගවලට තිත තැබුණේ රනිල් වික්‍රමසිංහ මහතායි. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට එදා වාරිමාර්ග ඇමැතිව සිටියදී එකම ජලාශයක්වත් හදන්න බැරි වුණා.

1998 සිට වසර දොළහක් පමණ මහවැලි ඇමැති ලෙස ‍කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මොරගහකන්ද ව්‍යාපෘතියට යටවීම නිසා ලග්ගල හා පල්ලේගම වෙනුවෙන් නව නගරයක් ඉදිකිරීමට සිදුවුණා. ව්‍යාපෘතියට ජපන් රජය ආධාර ලබා දීමට එකඟත්වය පළ කළත් පසුව ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා. එය වළක්වා ගැනීමට විෂය භාර ඇමැතිවරයා සමත් විය යුතු වුවත් මෛත්‍රීපාල එයට අසමත් වුණා. එතුමාගේ අදක්ෂතාව නිසයි ජපන් ආධාර අහිමි වුණේ. විදේශ මුදල් ලැබෙන තෙක් අවශ්‍ය මූලික වැඩ සිදුකිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට උදවු කළා. 2007දී භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 500ක්, 2008දී මිලියන 3000ක් හා 2009දී මිලියන 1015ක් වශයෙන් එතුමා ලබා දුන්නා. එසේ නොකළ බව හැකිනම් ඔප්පු කර පෙන්වන්නැයි සිරිසේන මහතාට මා අභියෝග කරනවා.

පරිසර විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව මහවැලි එෆ් කලාපය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ නිසා නැවත පදිංචිකිරීම තවදුරටත් ප්‍රමාද වුණේ ඔහුගේ වරදින්මයි. තමන්ගේ කාර්යය එසේ ප්‍රමාද වුණේ තමන් ගත් පියවර නිසයි. මෛත්‍රීපාල සිරිසේන ගොවියකුගේ පු‍තකු බව කියනවා. ජනාධිපතිතුමාත් නියම ගොවියකුගේ පුතෙක්. එතුමාගේ පියා එදා නාමයෝජනා පත්‍රයට අස්සන් කළේ කුඹුරේ සිට පැමිණ වක්කඩෙන් අත සෝදා ගෙනයි. ජනාධිපතිතුමා කියන්නේ ගොවි ජනතාවගේ දහඩිය සුවඳ හා ඉපනැල්ල හොඳින් හඳුනන කෙනෙක්.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා - විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර තිබෙනව,ජේ ආර් ජයවර්ධන මහතා ඉදිරිපත් කළ විධායක ජනාධිපති ධූරය ඉවත් නොකරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දහ අටවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බවටත්. මේ අය පළමු වතාවේ පැවැති මාධ්‍ය සාකච්ජාවේදි මොනවද කිව්වේ.දින සියයක් තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටයි මුලින්ම කිව්වේ. චන්ද්‍රිකා, රනිල්, පාඨලී , මෛත්‍රී මංගල රතන මේ හැමෝගෙම අදහස් පරස්පරයි.

2005 ට කළින් මේ රට අරාජික රටක්. කැබලි වලට කැඩී වෙන්වී තිබු රට එක්සේසත් ක‍ළේ ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතායි.අවුරුදු 30 ක යුද්ධය නිසා වැඩි වශයෙන් පීඩාවට පත් වුණේ අපේ කාන්තාවෝ.අදවන විට අපේ රට ස්ථාවර රටක් ඒ වගේම අදවන වි‍ට නිදහස හා සාමය රටතුළ ගොඩනැගී තිබෙනව.අදවන වි‍ට පාසල් යන දරුවො හවසට නිවසට එන බව මව්වරු දන්නව.

යුද්ධයට යන සැමියා, තම සහෝදරයා නිවසට එන බව අපේ කාන්තාවො දන්නව.මේ රටේ කාන්තාවන් හදවතින් ජනාධිපති තුමාට සහය දෙනව.කව්රු මොනව කිව්වත් ගෙදර බුදුන් අම්මා වන අපේ කාන්තාවන් ඇත්ත තේරුම් ගෙන තිබෙනව.මේ රට දශක ගණනාවක් ආපස්සට ගිය රටක් .2009 වන විට යුදුධය අවසන් කළා. 2010 සිට 2014 කාල සීමාවේදි රට සංවර්ධනය කළා.ආසියාවේ ආශ්චර්ය වචනයට පමණක් සීමා නොකර එය යතාර්ථයක් බවට පත්කළා.ගම්මට්ටමින් ජන ජීවිත ගොඩනැඟුවා.

පාඨලී චම්පික අලුතින් පොතක් ලියල තිබෙනවා.ඒකේ අපේ ආර්ථිකය ගැන සඳහන් කැර තිබෙනව.එතුමා කියන ආකාරයට අපේ ආර්ථිකය දෙවැනි වන්නේ චීනයට පමණයි.ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා- පොදු අපේකෂකයාගේ රැස්වීමක් කොත්මලේ දි පසුගියදා පැවැත්වුණා. අප‍ට වාර්තා වන ආකාරයට එයට 800 ක් වත් සහභාගී වි නැහැ.නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීමට අතිවිශාල ජනතාවක් සහභාගී වුණා. මෙවර ජනාධිපති වරණයේදි අපට කිසිදු කතාවක් නැහැ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිරයි. ගම,ගමේ ජනතාව සිටින්නේ ජනාධිපතිවරයා සමඟයි.මෛත්‍රිපාල සිරිසේන මහතා අවංක දේශපාලකයෙක් නම් එක් එක් දේශපාලන පක්ෂ සමඟ අස්සන් කැර ඇති අවබෝධතා ගිවිසුම් ටික එලියට දාන්න. ගමේ මිනිස්සු අහනවා සිරිසේන මහතා මෝඩිට ඇදලද කියලා. ගමෙන් ආපු මෛත්‍රීට මේ මොකද වෙලා තියෙන්නෙ කියල ජනතාව අහනවා. සිංගප්පූරුවේ සිදුවන ගනුදෙනුව තමයි බරපතළම ඩොලර් ගනුදෙනුව.යුද්ධයෙන් කැරගන්නට බැරි වු දේ වෙනත් ක්‍රමවේදයකට කරගන්නටයි මේ උත්සාහ කරන්නේ.

වරාය මහාමාර්ග නාවුක කටයුතු ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධණ මහතා - මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැම්මම ඒ අය බැලුවේ එයින් තමන්ට ලැබෙන වාසිය මොකක්ද කියල.මෛත්‍රි එක්ක 62 ක් විපක්ෂයට යනව කිව්වා. කෝ ගියාද? රනිල් වික්‍රමසිංහ හැමදාම මෛත්‍රිපාලට කෝල් කරල අහනව මෛත්‍රි කෝ අර එනවා කියපු 62 කියලා.සිරිසේන මහත්තයා දැන් හැසිරෙන්නේ උදේ පාන්දරට නෝනගෙන් බැණුම් අහල යන සැමියෙක් වගේ.

එතුමා කරන කියන දේ එතුමා දන්නෙ නැහැ.මේ අශුද්ධ සංවිධානය ගැටලු ගොඩකට මුහුණ දීලයි ඉන්නේ.මත ගණනාවක් තිබෙනව. මෛත්‍රී පාලනයක් හදනව කියල වැඩේ පටන් ගත්තට‍ වෛරී දේශපාලනයක් ක්‍රියාත්මක කරනවා. ජනවාරි අටවැනිදාට ගුවන් තොටුපොළ වහනවලු. ජනාධිපති ලෙස පත්වන්නට උත්සාහ කරන කෙනෙකුට ගුවන්තොටු පොළ වසාදමන්නට බලයක් ලැබෙන්නේ කොහොමද? මෛත්‍රිපාල මේ කියන්නේ මොකක්ද ජනාධිපතිවරණයෙන් පස්සේ විරුද්ධ පාක්ෂිකයාට පහර ගසන්නට පටන් ගන්න කියල නෙවෙයිද?

මම දන්න ආකාරයට ගුවන්තොටුපොළින් යන්නට අවසර නොදෙන්නෙ අධිකරණ නියෝග මත පමණයි.ඒ කියන්නේ 8 වැනිදට අධිකරණ බලයත් සිරිසේන මහතා ගන්නයි උත්සාහ කරන්නේ. ලබන 26 වැනිදා වෙනකොට සිරිසේන මහතාත් එක්ක ඉන්න සියලු දෙනා ඉවත් වෙනවා. ජනවාරි 9 වැනිදට සිරිසේන මහතා ජනාධිපති තුමාට කියනව, ජනාධිපති තුමනි මට වැරදුනා කියලා. මෙවර ජනාධිපති වරණයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ විසිදෙකකින් ජයග්‍රහණය කරනවා.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා