ආම්ස්ට්‍රෝංගේ සහායට ලොව පුරා පිළිකා රෝගීහූ නැගී සිටිති

ආම්ස්ට්‍රෝංගේ සහායට ලොව පුරා පිළිකා රෝගීහූ නැගී සිටිති

තහනම් උත්තේජන භාවිතා කිරීමේ වරදට අමෙරිකානු තහනම් උත්තේජන විරෝධී ඒජන්සිය මගින් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වූ ලෝක පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං වෙනුවෙන් පිළිකා රෝගයෙන් පීඩා විඳින ‍ලෝක ප්‍රජාව නැගී සිටින බව අන්තර් ජාතික පිළිකා නිවාරණ සංගමයේ සභාපතිනි ප්‍රකාශ කළාය.

කාලයක් පිළිකා රෝගයත් සමග සටන් ‍කොට ජීවිතය ජය ගත් ආම්ස්ට්‍රෝංට තම සංගමයේ සහාය හිමිවන බව එම සංගමයේ ප්‍රධානී මාරි ගොස්පොඩරෝවික් කියා සිටියාය. '‍පිළිකා ‍‍රෝගයෙන් පීඩා විඳින ප්‍රජාව ඔහු සමගයි' මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ලෝක පිළිකා රෝගි කොන්ග්‍රසයේ වාර්ෂික සමුළුවේ දී ඇය සඳහන් කළාය.

මේ සමුළුවේ ඉදිරි දිනයක දී ආම්ස්ට්‍රෝං ද දේශනයක් කිරීමට නියමිතය. ‍ පිළිකා රෝගය වෙනුවෙන් පරික්ෂණ කටයුතු කිරීමට ආම්ස්ට්‍රෝං ආරම්භ කළ ව්‍යාපෘතියට මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් එක්රැස් වී තිබේ. අමෙරිකානු තහනම් උත්තේජන විරෝධි ඒජන්සිය විසින් ආම්ස්ට්‍රෝංට වි‍රුද්ධව එල්ල කරනු ලැබූ චෝදනා විභාග‍යේ දී ඊට ‍එරෙහිව පිළිතුරු දීමේ අයිතිය අතහැර දමමින් ඔහු නිශ්ශබ්ද විය.

වසර 7ක් පුරා ආම්ස්ට්‍රෝං ජයගත් ප්‍රංශ සවාරි කිරුළු ඔහුගෙන් නැවත අත්කර ගැනීමට අමෙරිකානු තහනම් උත්තේජන විරෝධි ඒජන්සිය තීරණය කළේ ඉන් අනතුරුවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා