බෝර්නියෝ රගර් තරගාවලියට ශ්‍රී ලංකා පිල ‍තේරීම අද

බෝර්නියෝ රගර් තරගාවලියට ශ්‍රී ලංකා පිල ‍තේරීම අද

‍ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු තරගාවලිය වන බෝර්නියෝ සෙවන්ස් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද තෝරාගැනීමට නියමිතය. මූලික සංචිතයට ක්‍රීඩකයන් 40 දෙනෙකු ඇතුලත්ව සිටි අතර අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම ‍නි‍යෝජනය කරන ශ්‍රීනාත් සූරියබණ්ඩාර බෝර්නියෝ තරගාවලියේ ශ්‍රි ලංකා පිලේ නායකත්වයට මේ වනවිටත් නම් කර තිබේ.

ඉසිපතන විදුහලේ ආදි සිසුවෙකු වන සූරිය බණ්ඩාර ශ්‍රී ලංකා සත් සාමාජික රගර් තරගබි‍මේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකි. අද නම් කිරිමට නියමිත ශ්‍රී ලංකා පිලට පාසල් ක්‍රීඩකයන් 10 දෙනෙකු ද ඇතුලත්ව සිටීම විශේෂ සිදුවීමකි.

මේ අතර ශ්‍රී ලංකා රගර් පි‍ලේ නව පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික බෙන් ගොලිංග්ස් පත්වී සිටියි.  එංගලන්තයේ ප්‍රබලතම සත් සාමාජික රගර් ක්‍රීඩකයෙකු වන බෙන් බෝර්නියෝ තරගාවලිය ඇතුලු ආසියානු සත් සාමාජික තරගමාලාව සඳහා ශ්‍රි ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවත්, ඉදිරියේ දී ඔහු‍ගේ කටයුතු සළකා බලා 15 සාමාජික රගර් තරග සඳහාත් ඔහුගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස් මහතා දිනමිණට පැවැසීය.

'ආසියානු සෙවන්ස් රගර් ශූරතාවලිය නිමාවනතුරු බෙන් ශ්‍රි ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඉන් පසුව ඔහුගේ සේවය සළකා බැලීමටත්, ඒ අනුව 15 සාමාජික කණ්ඩායම සඳහා පුහුණුකරු ලෙස බෙන් පත්කිරීම සම්බන්ධවත් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.' ඉල්යාස් මහතා පැවැසීය.

බෝර්නියෝ තරගාවලියේ දී බෙන්ගේ සහාය පුහුණුකරු ලෙස හැව්ලොක්ස් පිලේ සහාය පුහුණුකරු ලෙනාර්ඩ් ද සිල්වා කටයුතු කිරීමට නියමිතය. බෝර්නියෝ සෙවන්ස් ශූරතාවලිය සැප්තැම්බර් මස 1 සහ 2 දෙදින මලයාසියාවේ බෝර්නියෝ හී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා