අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙදියක් එන්නත් වර්ගයක් ශරීරගත කර ගෙන

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙදියක් එන්නත් වර්ගයක් ශරීරගත කර ගෙන

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි අවිවාහක හෙදියක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ආනයනය කරන ලද එන්නත් වර්ගයක් ශරීරගත කර ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉන්දියාවෙන් මෙරටට ආනයන කරන ලද එන්නත් කුප්පි හතරක් සිරින්ජරයක් ආධාරයෙන් ශරීරයට එන්නත් කර ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිහිඹියගොල්ලෑව මැදවච්චිය ලිපිනයේ ස්ථීර පදිංචි , ලිංගල පාර රඹවැව නොච්චියාගම ලිපිනයේ තාවකාලිකව පදිංචිවි සිටි ජයනන්දගේ අනුෂා කාංචනමාලී ජයනන්ද (30) යන අවිවාහක හෙදියයි.

ඇය වසර කිහිපයක සිට නොච්චියාගම , රඹවැව ප්‍රදේශයේ පිහිටි සිය අවිවාහක පුංචි අම්මාගේ නිවෙසේ සිට රැකියාවට ගොස් ඇති අතර එම නිවෙසේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුම පදිංචිව සිටින බවද අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මියගිය හෙදිය පෙරේදා (16) සුපුරුදු පරිදි රැකියාවට ගොස් නැවත නිවෙසට පැමිණ සිටි බවත් ඇය යම් සිත් තැවුලකින් පීඩාවිඳි බවක් නොදුටු බවද පවුලේ ඥාතීහු මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් කියා සිටියහ.

මියගිය හෙදියගේ මව මීට වසර 06 කට පමණ පෙර මියගොස් ගොස් ඇති අතර ඇයගේ පියා සහ සහෝදරයා මැදවච්චිය නිවෙසේ පදිංචිව සිටී. ඇගේ සොහොයුරා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයේ නියුතු අයෙකි. මියගිය හෙදියගේ මාමාගේ දියණිය වු 14 හැවිරිදි පාසල් සිසුවියද ඇගේ කාමරයේ පෙරේදා (16) රාත්‍රියේ විභාගයට පාඩම් කරමින් සිට ඇති අතර ඇය රාත්‍රී 12.00 පමණ වන තුරු පාඩම් කර ඇති බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. එහෙත් එම කාලය අතුරතුරදී මියගිය හෙදිය කිසිදු ක්‍රියාවක නිරත වන අයුරක් ඇය විසින් දැක නැති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ඊයේ (17) අලුයම ඇය රාජකාරී කටයුතු සදහා යෑමට අවදි නොවීම හේතුවෙන් පුංචි අම්මා විසින් ඇයව නින්දෙන් ඇහැරවීමට උත්සහ කළත් ඇය සිහිසුන්ව සිටි නිසා නොච්චියාගම රෝහල වෙත රැගෙන ගොස් ඇත. ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇත. ඇය නිදා සිටි ඇඳ ආසන්නයේ තිබී මිලි ලිටර් 02 හිස් එන්නත් කුප්පි හතරක් , මිලි ලිටර් 10 සිරින්ජරයක්ද නොච්චියාගම පොලීසිය විසින් සොයාගෙන තිබුණි. එහෙත් සිරිංජරයේ එන්නත් කටුව සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන නොච්චියාගම පොලීසියට නොහැකි විය. සිය සහෝදර හෙදිය මියගොස් සිටින බවට ආරංචි වීමත් සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ 67 වන වාට්ටුවේ සේවය කරන හෙදියන් විශාල පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණි අතර සිය දිවි නසා ගැනීමට තරම් කාරණාවක් ඇයට නොතිබුණු බව ඔවුහු අප සමග පැවසුහ. පෙරේදා (16) දිනයේත් වෙනදා මෙන්ම රාජකාරිය අවසන් වී නැවත රැකියාවට එන බව පවසා ඇය රෝහලෙන් පිටව ගිය බවද හෙදියන් පිරිසක් පැවසුහ. ඇයට විවාහ යෝජනා කිහිපයක් ගෙනආවත් පසුව විවාහ වන බව පවසමින් අවිවාහක සිටි බවත් පෙම් සබධතාවක් පිළිබදවද මරණ පරීක්ෂණයේදී කිසිදු අනාවරණයක් නොවීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා