යතුරුපැදි සොරාගෙන කෑලි ගලවා අලෙවි කිරීමේ ජාවාරමක්

යතුරුපැදි සොරාගෙන කෑලි ගලවා අලෙවි කිරීමේ ජාවාරමක්

කහතුඩුව, පිළියන්දල පොලිස් බලප්‍රදේශයන්හී සොරා ගන්නා යතුරුපැදිවල එක් එක් කොටස් වෙන් වෙන්ව ගලවා අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින්නේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙසේ කොටස් ඉවත් කරන ලද වටිනා යතුරුපැදි දෙකක් දෙසතියක කාලයක් තුළදී පොල්ගස්ඕවිට, හෙරලියාවල, උස්ඒදණ්ඩ නැමැති ජනශූන්‍ය පළාතක පිහිටි ඇළ මාර්ගයක දමා තිබියදී හමුවීමෙන් පසුව මෙම සැකය මතුවූ බව කහතුඩුව පොලිස් ප්‍රකාශකයෙක් කීය.

මෙම යතුරුපැදි මෙම ස්ථානය දක්වාම පදවාගෙන විත් එහිදී කොටස් ගලවාගෙන ගොස් ඇතැයිද, ඇන්ජින් අංකය සහිත බඳ කොටස පමණක් ඇළ මාර්ගයට විසිකර දමා ගොස් තිබුණේ යැයිද පොලිසිය කියයි.

මෙම ස්ථානයට දමා ගොස් තිබූ ගාල්ල ප්‍රදේශයෙන් පැහැරගත් මිනි මෝටර් රථයක් දෙවසරකට ඉහතදීද, පානදුර හිරණ ප්‍රදේශයෙන් පැහැර ගත් යතුරු පැදියක් දෙසතියකට ඉහතදීද සොයාගන්නා ලදී.

පසුගිය 25 දින මහරගම ප්‍රදේශයේදී පැහැර ගත් යතුරුපැදියක් ද මෙම ස්ථානයෙන්ම මතුවී තිබුණි. කොටස් ඉවත්කරන ලද මෙම යතුරුපැදිය මහරගම පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක රථගාලේ නවතා තිබියදී පැහැර ගනු ලැබූවක් බවට තොරතුරු ලැබී තිබුණි.

තම තමන්ගේ යතුරුපැදි මෙම කල්ලිවලින් ආරක්ෂා කරගන්නා ලෙසටද පොලිසිය අනතුරු හඟවයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා