බස් රියක්වත් නවත්වන්න ඉඩක් නෑ

ගන්තුන නගරයේ අනවසර ඉදිකිරීම් :

බස් රියක්වත් නවත්වන්න ඉඩක් නෑ

කෑගල්ල ගන්තුන නගරයේ අනවසර ඉදිකිරීම් නිසා මාර්ගයේ ධාවනය වන බස් රථයක් නවතා තැබීමට හෝ හරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර වැසිකිළි කැසිකිළි පහසුකම්ද බස් මගී ආවරණද නොමැතිකම නිසා මඟී ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වී ඇත.

කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 22ක් පමණ දුරින් එපිට කන්ද, උනන් කන්ද, බලල්ගල, සත්‍රා කන්ද, යන කඳු වලින් වටවී ගන්තුන නගරය පිහිටා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි වයි. පී. වී. කේ. පී. ආරියවංශ මහතා මෙසේ පැවසීය.

මෙම නගරයට ගන්තුන උඩුගම, ගන්තුන පල්ලේගම, ඕවිටිගමුව, බෙරගල , බොස්සැල්ල යන ගම්වල පදිංචි පවුල් 2500ක පමණ ජනතාවක් පැමිණෙති. මෙම නගරය ඉතාමත් කුඩාය. නගරය දෙපස විවිධ පුද්ගලයන් විසින් අනවසර ඉදිකිරීම් සිදු කර ඇත. මගී ජනතාවට අවශ්‍ය කැසිකිළි වැසිකිළි කිසිවක් නැත. නගරයේ එකතු වන කුණු කසළ අසලින් ගලා බසින ගුරුගොඩ ඔයට දැමීමට සිදුවෙලා. මේ අතර සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඉදිකර ඇති බැම්ම අඩි 5ක් වත් පිටුපසට ගෙන මෙම නගරයට ඉඩ පහසුකම් සැලසිය යුතුයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයට අයත් බස් රථ 6ක් ගන්තුන සිට කෑගල්ල බලා දිනපතා ධාවනය වෙයි. මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 2ක්ද ධාවනය වෙයි. මෙම බස් රථ ගන්තුන නගරයේ ඉඩ පහසුකම් නොමැති නිසා පාර දෙපස නවතා තැබීමට සිදුවී තිබේ.

ත්‍රීරෝද රථද නගරය තුළ නවතා තැබීමට ස්ථානයක් නොමැති හෙයින් නගරයේ තැන් තැන්වල ගාල් කර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා