පාන්කඩ හන්දියේ රිය ගැටුමින්

පාන්කඩ හන්දියේ රිය ගැටුමින්

කතුන්, ළමයින් 2කට තුවාල

අනතුර සිදුවූ පසු එම ස්ථානයේ දර්ශන කීපයකි.

මීගමුව පාන්කඩ හංදියේදී 29දා රාත්‍රී 11.30ට පමණ වාහන දෙකක් එකින් එක ගැටී එක් වාහනයක ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු කුඩා ළමයි දෙදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

ජයබිම ද. කදින මීගමුව පදිංචි එම්. ජී. ඊ. මරිය මාලනී ප්‍රනාන්දු (60) අන්නාමි පටුමඟ, මීගමුව පදිංචි හෙට්ටිගේ මේරි චාලනී (58) යන කාන්තාවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. නෙත්මි (4), මල්කි (6) දැරියන් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මංගල්‍ය උත්සවයකට සහභාගි වී සංගීතය සපයන ලද මීරිගම ප්‍රදේශයේ සිට පැමිණි කණ්ඩායමක් රැගෙන යමින් සිටි එක් වාහනයක්ද කුරණ ප්‍රදේශයේ සිට මඩු දේවස්ථානය වෙත ගොස් පැමිණි වන්දනා නඩයක් නැවත කතරගම බලා යනවිට ඔවුන් ගමන් ගත් වාහනයද මෙලෙස එකින් එක ගැටී ඇත. වන්දනා නඩය ගමන් ගත් වාහනය මහ මාර්ගයේ පෙරළී තිබුණි.

සංගීත කණ්ඩායම රැගත් වාහනය පදවන ලද නැලිගම අලුත්වත්ත පදිංචි මද්දුම ආරච්චිගේ කුලතුංග යන අයව මීගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරික්ෂාකාරී ලෙස අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවන ආකාරයට කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරු (30) අධිකරණයට ඉදිරිපත් කරන බව මීගමුව පොලිසියේ රථවාහන අංශය කියයි.

මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ උපදෙස් මත මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ඇනස්ලි මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 17073 ජයතිලක, පොලිස් කොස්තාපල් 15161 ලලිත් විජේවික්‍රම යන නිලධාරින් පරීක්ෂණ මෙහෙයවූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා