ඓතිහාසික නවකතාවක් ලිවීම බැරෑරුම් කාර්යයක්

ඓතිහාසික නවකතාවක් ලිවීම බැරෑරුම් කාර්යයක්

 ගීතාංගනී ප්‍රදීපා සේරසිංහ

වරෙක ඉසියුම් පදවැලකින් නෙක් අරුත් විදාලමින් කවිය නමැති රසවත් වැකියට පෙම් බැඳි ඈ ‘පින් මද දියණියෝ’ රචනා කළාය. තවත් වරෙක පරිවර්තනයේ අක්මුල් සොයායමින්, ‘වඳුරු සහෝදරියෝ’ නමැති විද්‍යා ප්‍රබන්ධයට පණ පෙව්වාය. ශිලා ලේඛන, පැරැණි ඉතිහාස මූලාශ්‍ර අතර සැරිසරමින් ඈ ‘සිඳු මෙහෙසිය’ බිහි කළාය. වසර 20ක පමණ පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් සැපිරූ ඇය, ගීතාංගනී ප්‍රදීපා සේරසිංහ නම් වන්නීය. ඇගේ කුළුඳුල් නවකතාව වන ‘සිඳු මෙහෙසිය’, පසුගියදා දොරට වැඩිණි. මේ කතාබහ ඇගේ ඒ නවමු වෑයම පිළිබඳව ය.

* “‘සිඳු මෙහෙසිය’ පිළිබඳ හැඳින්වීමක් කළොත්?

අප කුඩා කාලයේ සිට අසා තිබෙන, ලංකාවෙ වීරවරියක් ගැන තමයි මේ කෘතියෙන් කතා කෙරෙන්නෙ. ඇය විහාර මහා දේවියයි. ඇගේ චරිතය පිළිබඳ බොහෝ කරුණු ඒකරාශි කර ගැනීමෙන් අනතුරුව මා මේ නවකතාව රචනා කළා. මෙය ඓතිහාසික නවකතාවක් ලෙස අපට හඳුනාගන්න පුළුවන්. ශර්වරී හෙවත් විහාරමහ දේවි චරිතය නිර්මාණශීලී අයුරින් ඉදිරිපත් කිරීමට මා මෙහිදී උත්සහ කළා.

* මෙවැනි නවකතාවක් රචනා කිරීමට බලපෑ හේතුසාධක පිළිබඳ කතා කළොත්?

අපේ ජන සාහිත්‍යයේ සෞන්දර්යයෙන් මා කුල්මත් වුණේ ළදැරියකව සිටි අවධියේදියි. සී අම්මා කියූ මිහිරියාවක් රැඳි පත්තිනි හෑල්ලටත්, සී තාත්තා කියාදුන් විසිතුරු කතන්දරවලටත් සවන් දීමෙන් ඒ සොඳුරු කාලයේදී මා අමුතුම ප්‍රබෝධයක් ලැබුවා. කුඩා අවධියේදී මට රසවත් කතන්දර කියා දෙමින් බත් පිඬුකොට කවනවිට මා ඇසූ විහාර මහා දේවිය පිළිබඳ කතාවට ඇලුම් කළා.

මුහුද ගොඩගැලූ කතාව මා විශ්වාස කළා. එහෙත් මේ කතාවේදී කියවෙන පියා, තම දියණිය මුහුදට බිලි දුන් සිද්ධිය මා එතරම් විශ්වාස කළේ නෑ. පවුලේ වැඩිමල් දියණිය ලෙස පිය සෙනෙහස විඳිමින් සිටි මා හට තම දියණිය මුහුදට පාකර යැවූ පියා පිළිබඳ මසිතේ ඉපැදුණේ සංවේගයක්. ඒත් 2004 වසරේ අප රට සුනාමි ව්‍යසනයට ලක් වුණු මොහොතේදී ළදරියකව සිටියදී විහාර මහාදේවිය පිළිබඳ කතාව අසන විට මසිත ඇතිවූ විශ්වාසය වගේ ම සංවේගය මේ සිදුවීම අසද්දිත් මගේ සිතේ ඉපැදුණා.

මං ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා, අතීත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය කළමනාකරණ විධික්‍රම පිළිබඳ විමසිලිමත් වුණා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු සෙවීමට නොයෙකුත් අභිලේඛන ඇසුරු කිරීමට සිදු වුණා. එසේ කටයුතු කරන විට, මේ ස්වභාවික සංසිද්ධිය පමණක් නෙමෙයි, නොයෙක් ආකාරයේ, විවිධ ඓතිහාසික සංසිද්ධි ඇසුරෙහි, නෙක් අයුරින් මනහර චිත්ත රූප මා මනසේ මැවෙන්න වුණේ නිතැතින්මයි. ඒ චිත්තරූප මැවුණෙ සමකාලීන සමාජය තුළ අප විඳි විවිධ අත්දැකීම් ඇසුරු කරගෙනයි. එහිදී ආසන්න අත්දැකීම් මා සිත තුළ වරින්වර උපදිමින්, අතීත අත්දැකීම් සමඟ සංසන්දනයක් සිදු වුණා.

එහිදී අපගේ යොවුන් වියේදී වැඩිපුර කාලයක් ගැහැට විඳීමට සිදුවූ යුද්ධයත්, අනපේක්ෂිත අයුරින් සිදු වූ සුනාමි ඛේදවාචක පිළිබඳත් අත්දැකීම් අතීතය සමඟ සැසඳීමක් සිදුවුණේ මටත් නොදැනීමයි. මේ අත්දැකීම් සමඟ ඇතැම් රසවත් ඓතිහාසික වෘත්තාන්තයක්, මා තුළ වීර රසයත්, කරුණා රසයත් උත්පාදනය කළේ මටත් නොදැනීමයි. අභිලේඛනවල සටහන්ව පැවැති තොරතුරු පිළිබඳ විශ්ලේෂණයක යෙදෙද්දි, ක්‍රි. පූ. දෙවැනි සියවස තරම් ඈත අතීතයේ සිදු වුණ යුද්ධයක පසුබිමේ පැවැතුණේ කුමනාකාරයේ කළමනාකරණ ක්‍රමවේදයක් ද යන්න මා හට දැනුණා. ඒ කාලෙදි වර්තමානයේ වගේ අති නවීන තාක්ෂණික මෙවලම් හෝ වර්තමානයේ පවත්නා ආකාරයේ ජනමාධ්‍ය භාවිතයක් තිබුණෙ නෑ.

එක්සත් රාජධානියේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී උගත් අති නවීන කළමනාකරණ ක්‍රමවේද, අපේ රටේ අතීත සම්ප්‍රදායයන් හා සැස‍ඳෙන ආකාරය දැක්කහම, මගේ සිත විස්මයට පත් වුණා. ක්‍රම ක්‍රමයෙන් කාලය ගෙවී යද්දී, ඒ සියල්ල අතරින් මේ කතාවේ එන ප්‍රධාන චරිතය වන ශර්වරී, එසේත් නැත්නම් විහාර මහා දේවිය, සෑම මොහොතකම වගේ මගේ හිතේ සැරිසරන්න ගත්තා. මාත් සමඟ නිරන්තරයෙන් ම වාගේ සංවාදයේ යෙදුණා. ඒ ආකාරයට මගේ සිතේ ගොඩනැඟුණු චිත්තරූප සමුදාය තමයි ‘සිඳු මෙහෙසි’ විදිහට නිර්මාණය වුණේ. මට මුලින්ම නවකතාවක් ලිවීමේ වුවමනාවක් තිබුණෙ නෑ.

ඒ වගේම තමයි ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස මා කාලයක් සේවය කළා. එම කාලයේදී මා හට බොහෝ කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ, ඔවුන් මුහුණදුන් ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි වුණා. මේ සෑම ආකාරයකින් ම විහාර මහා දේවිය නමැති ශ්‍රේෂ්ඨ වීර කාන්තාව කියන චරිතය නිරූපණයට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ලැබුණා කීවොත් නිවරැදියි. මේ සියලුම හේතුසාධක කරණකොට ගෙන ‘සිඳු මෙහෙසිය’ නවකතාව නිර්මාණය වුණා.

* මේ නවකතාව තුළ ඔබ අපූර්ව බස් වහරකට අනුගතව තිබෙනවා. එවැනි භාෂා රටාවකට ඔබ යොමු වීමට ‍හිතුවෙ ඇයි?

මෙවැනි ඓතිහාසික ගණයේ නවකතාවක් රචනා කරන විට අපට එදා බස්වහර පිළිබඳ අධ්‍යයනයක නිරත වෙලා, කතාවට උචිත බස් වහරකට යාමට සිදු වෙනවා. මේ ආකාරයේ නිර්මාණශිලී භාෂාවක් යොදා ගැනීම මගින් මේ ඓතිහාසික නවකතාව, මේ නිර්මාණයට මා සාධාරණත්වයක් ඉෂ්ට කළා.

* කාකවණ්ණ තිස්ස කියන්නෙ බොහෝ දෙනෙකුගේ අවධානයට හසු නොවූ චරිතයක්. එම චරිතයට ඔබ සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ කතා කළොත්?

ඒ චරිතයට එවැනි සාධාරණත්වයක් ඉෂ්ට කළේ, මේ චරිත පිළිබඳ අධ්‍යයනයක යෙදිලා, ඒ චරිත පිළිබඳ මගේ ඇසෙන් විශ්ලේෂණය කළ නිසයි. එසේ කිරීමට මට අවශ්‍ය වුණා. මහාවංසය, ධාතුවංසය, ථූපවංසය, මහාවංස ටීකාව, රසවාහිනිය, සිංහල ථූපවංසය, ප්‍රධාන විවිධ ග්‍රන්ථ වගේම ලක්දිව සෙල්ලිපි පරිශීලනය කරද්දීත්, අතිශයෝක්ති ප්‍රවාද විමසද්දීත්, වටහාගත් ජනප්‍රිය කතිකාවතෙන් ඉවත්වෙලා, විහාරමහාදේවී සහ ගැමුණු චරිත නිරූපණය කිරීමටත් මා උත්සහ කළා. මට මේ හැම දෙයක්ම කළේ වඩාත් විස්වසනීය ආකාරයටයි. රාජ්‍යතාන්ත්‍රික හැසිරීම්, කළමනාකරණ ප්‍රවේශ වගේම පාලක චින්තන රටා ඉතා සියුම් විදිහට වටහාගෙන චරිත නිරූපණය කිරීමට මා කටයුතු කළා.

* ඩබ්ලිව් ඒ. සිල්වා, ජී. බී. සේනානායක වැනි ලේඛකයන්, අපේ ඓතිහාසික නවකතාවට මූලාරම්භයක් ලබාදුන්නා. එදා වගේම අද වනවිටත් ඓතිහාසික නවකතා බොහෝ සෙයින් බිහිවෙමින් පවතිනවා. ඔබේ නිර්මාණයට මේ ඓතිහාසික නවකතාවලින් ලැබුණු ආභාසය කෙබඳු ද?

එදා හොඳ ඓතිහාසික නවකතා බිහි වුණා. ඒත් මගේ මේ නවකතාවට, ඔය කියන නවකතාවලට වඩා, බලපෑවේ ලංකා සිවිල් සේවයේ ප්‍රවීණයකු වන ආචාර්ය ආනන්ද ගුර‍ැගේ මහතා රචනා කළ ‘Voices from Ancient Sri Lanka’ කියන ග්‍රන්ථයයි. මේ ග්‍රන්ථය කියවීමේදී අත්විඳි සුන්දරත්වය, ඓතිහාසික ‍ලේඛන වගේම අභිලේඛන තරමටම මාව උද්‍යෝගයට ලක් කළා. ඒ වගේම මං බොහෝසෙයින් අමන්දානන්දයට පත් කළේ, ඒ. වී. සුරවීර මාගේ ඇදුරුතුමන් සීගිරිය පදනම් කරගෙන ලියූ ‘සදා මෙලෙස පුර දෙරණේ’ කියන කෘතියයි.

* වර්තමානය වනවිට ඓතිහාසික නවකතා බිහිවීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. මේ පිළිබඳ කතා කළොත්?

වර්තමාන‍ෙය් පෙරට වඩා ‍බොහෝ පොතපත බිහි වෙනවා. ඒ නිසාම, ඊට සාපේක්ෂව ඓතිහාසික නවකතා සංඛ්‍යාත්මකව ගත‍්තොත් වැඩි බව දකින්න පුළුවන්. යුද්ධයකට මුහුණදීලා, වර්තමානයේ ගෙවෙන පශ්චාත් යුද සමය තුළ විශ්ලේෂණය, විචාරය වැනි දේ කෙරෙහි යොමු වීම තුළ, මෙවැනි නිර්මාණ බිහි වීමක් දකින්න පුළුවන්. ‍සුනාමියට පසුබිම් වුණ භූ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක අතුරු ඵල, මේ ඓතිහාසික ප්‍රවාද සමඟ ගලපන්නට උනන්දු වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය ඒ. වී. සුරවීර ගුරුතුමන් ඉගැන්වූ නවකතා ශිල්ප ධර්ම හා සාහිත්‍ය විචාර සිද්ධාන්තවල සාරයේ වූ දර්ශනය උකහාගෙන, සත්‍යයක් සේ පෙනෙන කල්පිතය ද, කල්පිතයක් සේ පෙනෙන සත්‍යය ද සුදුසු ලෙස මුසු කිරීම මගිනුයි.

* ඓතිහාසික නවකතාවක් රචනය, වෙනත් නවකතාවක් රචනයට වඩා බොහෝ සෙයින් වෙනස්. මේ පිළිබඳ කතා කළොත්?

මෙහිදී වත්මන් පරිසරය සමඟ හිතලා චිත්ත රූප මවනවා. එසේ මැවෙන සියල්ල ප්‍රතිනිර්මාණය කෙරෙනවා. ඒ කාලෙ සම්පූර්ණ පරිසරය සොයාගත යුතුයි. මෙරටට පැමිණි යුරෝපා ජාතීන් නිසා, අපේ භාෂාවට නව වචන එක්කාසුවෙලා. මේ නිසා මේ වචන භාවිතයෙන් තොරව එදා සමාජයේ ව්‍යවහාරික භාෂාව අප සොයා යා යුතුයි. මානව හැසිරීම්, ඔවුන් අතර පැවැති සහ සම්බන්ධකම්, වැනි දේ අධ්‍යයනය කළ යුතුයි. ඓතිහාසික පොතපත, අභිලේඛන පරිහරණය කළ යුතුයි. ඒ නිසා නව ප්‍රබන්ධයකට වඩා ඓතිහාසික නවකතාවක් රචනය භාරධුර කාර්යයක්.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා