පළමුවන සිංහල සඟරා කතුවරයා ‘ශාස්ත්‍රනිධාන’ කතු ජෝන් පෙරේරා

පළමුවන සිංහල සඟරා කතුවරයා ‘ශාස්ත්‍රනිධාන’ කතු ජෝන් පෙරේරා

“සව්සත්දම් වාදය” ගෙනගිය ජෝන් පෙරේරාගේ ශාස්ත්‍රාලංකාරය

“ලංකා නිධානය “ සඟරාව නැවතීමෙන් පසු 1846දී ආරම්භකර ඇති ශාසත්‍රනිධානය සිංහල කතුවරයකු ආරම්භ කළ පළමු සඟරාවයි. මෙයට පෙර ආරම්භ කර ඇති සිංහල භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පැරණිතම සඟරාවන මාසික තෑග්ග, ලංකා නිධානය, උරගල විවේචකයා, යන සඟරාවල සංස්කාරකවරයෝ සිංහලයෝ නොවූහ. ශාසත්‍රනිධානයේ කතුවරයා කීර්තිමත් සිංහලයෙකි.

ගොඩපිටිය ජේතවන විහාරයේ සරම් මුදලි ඉදිකළ මන්දිරය

ජෝන් පෙරේරා මහතා කොළඹ ගුරුවරුන් පුහුණු කරවන පාසලේ ප්‍රධානියා ද විය.

ඔහු මේ සඟරාව ප්‍රකාශයට පත්කිරීමට පෙර පොත් කිහිපයක්ද ලියා තිබේ. කලු කොදයාවේ ප්‍රඥාශෙඛර මහ නාහිමි සඳහන් කරන පරිදි ‘හෙළ දිව රජ නිය” නමින් ග්‍රන්ථයක්ද ලියා ප්‍රකාශයට පත් කොට ඇත. මේ ග්‍රන්ථය පිටු 331කින් යුක්ත වී ඇත. ලංකාදීපයේ රජකළ රජවරුන්ගේ නාමයන් හා ඔවුන්ගේ විස්තර මෙහි ඇතුළත් වී ඇත. පසු කලෙක ඔහු බොරැල්ලේ ඉංග්‍රීසි පාසලේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදී.

මාතර කඹුරුගමුවේ ජන්ම ලාභය ලැබූ පරපුරකින් පැවත එන ජෝන් පෙරේරා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පළමු සිංහල විදුහල්පතිවරයාය. ඔහු කොළඹ කොල්ලුපිටියේ පදිංචිව සිටියේය. මොහු එළු, පාලි, සංස්කෘතික, ඉංග්‍රීසි, දෙමළ, පෘතුගීසි භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකි.

වසර 1853 දී ‍ජෝන් ‍පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් රටේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් “ ශාසත්‍රාලංකාරය” සඟරාව ඇරැඹිණි. එය රටේ උගත් ගිහි පැවිදි වියතුන් අතර එකළ මහත් ආන්දෝලනයක් ඇතිකළ “ සව් සන්දම් වාදය” මේ සඟරාව මඟින් ආරම්භවිය. වාදය ආරම්භයේ සිට අවසානය දක්වා ලිපි සැපයූ සඟරා දෙකෙන් එකක් මේ ‘ශාස්ත්‍රාලංකාරය’ විය. අනික බටුවන්තුඩාවේ මහ පඬිතුමාගේ යතලබ සඟරාවයි.

“සව්සන්දම්වාදය”

මෙයට වසර 200කට පෙර අටවක පොහෝ දින මාතර විසූ දාවික් ද සරම් විජයසේකර තිලකරත්න මුදලිතුමා අකුරැස්ස ගොඩපිටියේ ජේතවන විහාරයේ තෙමහල් ගොඩනැගිල්ලක් ( බෞද්ධ මන්දිරයක්) කළේය. 1806 නොවැම්බර් මස අටවක පොහෝ දින මාතර පටන් ගොඩපිටිය දක්වා නිල්වලා ග‍ඟේ සරසන ලද ඔරුපාරුවලින් ලස්සන පෙරහැරක් ග‍ඟේ ගෙන යන්න මුදලිතුමා කටයුතු කළේය.

ඒ පින්කම වර්ණනා කිරීමට මුහන්දිරම් ‍තේමිස් සමරසේකර දිසානායක මහතා සිලෝ 103ක් රචනා කළේය.

අද මාතර රාහුල විදුහල මේ සරම් මුදලිතුමා ජීවත් වූ නිවසයි . සරම් මුදලිතුමා ඉදිකළ තෙමහල් බෞද්ධ මන්දිරය ගොඩපිටිය ජේතවන විහාරයේ නැතත් එතුමා පූජා කළ පූජා භාණ්ඩ රැසක් එම විහාරයේ තැම්පත් කර ඇත. දිසානායක මුන්දිරම් මහතාගේ ගංගාරෝහණ වර්ණාව ගැන අතිශය ප්‍රසනතාව හි දොස් ඇත්නම් කියන්න යැයි බොහෝ දෙනාට එහි කොපිය බැගින් යැවීය.

ගාල්ලේ අබේසිංහ මුදලිතුමාට යැවූ කොපිය කරතොට නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත යවමින් මෙහි දොස් කියන ලෙස ඇවටිලි කළේය.

එහි පින්කම කරවූ සරම් මුදලිතුමාගේ නම යොදා ඇති සීලෝව මෙයයි:

අද, මාතර රාහුල විදුහල සරම් මුදලිතුමාගේ වලව්ව

“සසර සරණ සව්සත්දම් අමාවෙන් සතොස්වා

සඟපවග සැපත් දුන් දම්රදුන් දම් සඟුන් සෙව්

පෙර මැදගවණින් මේ තුන්ගෙණේ මුල්කෙමෙන් නම්

පතළ මැති ස‍ඳෙක් වී මේ පුරේ කිත් දෙදෙක් වන්”

මිරිපැන්නේ ධම්මරතන යතිවරයන් වහන්සේ එකල්හි විසූ අතිශය ප්‍රසිද්ධ කීර්තිමත් කිවිවරයෙකි‍. ගංගාරෝහණ වර්ණනාවේ කිසි යම් ද්‍රෙෂයක් ඇත්නම් හෙළි කරණ ලෙස උන්වහන්සේට නැවත නැවත කරදර කිරීමෙන් පසු එහි එක් දොසක් පමණක් උන් වහන්සේ පෙන්වා දුන්හ.

“සසර සරණ සව්සත්දම් කිවු තුන් ගෙණේහි

අගකුර නරකය් කිව්වා තමය් ඒ මිසක්වා

සඳවියරණ ලක්නෙන් දොස් පෙණෙන්නේ නොමැත් මැය්

මෙම පොත පද බැන්දා ඒ ඉතාමත් කදීමය්”

මෙබඳු සිලෝ තුණකින් එහි කාව්‍යනායක මුදලි තුම‍ාගේ නාමය “ සරම්”/නොව “සරදම්” වන්නේය යි උන් වහන්සේ කියා සිටියහ.

මෙයට අවුරුදු 67කට පසු ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීධුරයක් දැරූ පූර්වාවරභාෂාශාසත්‍ර ප්‍රවීණත්වයෙන් කීර්තිමත් ව සිටි ජේමිස් ද අල්විස් නීතිඥ තුමා සිදත් සඟරා නම් වූ සිංහල ව්‍යාකරණ පොත ඉංගිරිසියට නගා ප්‍රසිද්ධ කරවූයේය. එයට ලියූ සංඥාපනය දීර්ඝ වූ ද වැදගත් වූ ද ඓතිහාසික විවරණයකි. ගංගාරොහණ වර්ණනාවේ “ සසර සරණ සව්දාදම්” යන ආදි සිලෝවට මිරිපැන්නේ යතිවරයන් වහන්සේගේ දොස් කීම වැරදි බවත් එහි ගණතුණේ පෙරමැදවණින් ගැණෙන්නේ ‘සරදම්’ කියා නොව “සරම්” කියා විය යුතු බවත් ඒ මහතා ඒ සංඥාපනයෙහි ඇතුළත් කෙළේය. එයින් පසු වාදය නැවතත් අලුතෙන් පැන නැංග බව පෙණේ.

දකුණේ මුදලි පිරිසක්

ඒ කාලය වනවිට, මිරිපැන්නේ කිවිවරයා ජීවතුන් අතර නොසිටියේය. උන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ කොග්ගල ධම්මතිලක සථවිරයන් වහන්සේ ගුරුභක්තියෙන් යෙදී සවකීය ආචාර්යවරයන් වහන්සේගේ ‍නිදොස් බව ඔප්පු කිරීමට ඉදිරිපත් වූහ. එයට පසු එකල රටේ විසූ උසස් පඬිවරු දෙපිළකට බෙදී එය ගැණ කලක් වාද කළහ.

එකල රටේ භාෂාශාසත්‍රවිශාරදත්වයෙන් ප්‍රසිද්ධ ව විසූ පඬිවරුන් අතුරෙන් බොහෝ දෙනෙක්ම දෙපසට බෙදී වාද කළහ. එහෙත් නියම නමින් ඉදිරිපත් වූවෝ සවල්ප දෙනෙකි.

එම වාදය සඳහා ලිපි සැපයූ පඬිවරුන් එම ලිපිවල අග යොදා ඇති නම් මෙසේය:-

“කේ. ධම්මතිලක

ජේ.පී.

දො.කො.ප්‍ර. උභයසේකර

එ.දි.හෙ. චන්ද්‍රසේකර

අත්තිඩි ග්‍රාමාධිවාසී දාවිත් පෙරේරා

අප්පුහාමි

ඊ.ඇස්.ඇල්.

ඩී.ඒ.ඇස්. බී. පී.

ආම්අ:

පී.ඇස්.

බන.වීරසිංහ පී.

දොන් පී. චන්ද්‍රසේකර

ධම්මරක්ඛිත ජයබාහු

සරදම්

පාලාතමන්ත්‍රිගේ ‍‍ජොහානස් අල්විස්

පන්ඩිට්

මාතර ශ්‍රී සිංහ

සරදම් අප්පුහාමි

කාම් ක:

සවස්ති සිඬම්

සරද

ගුණරත්න

මාතර පීක්වැල්ලේ විහාරාධිවාසී කෝදාගොඩ

තෙරුන්නාන්සේ

ධම්මතිලක බාහන්තේ

ධම්මසිරික

කවිතිලක

ධර්මානන්ද

ධර්මපාල

දොන් සරදම්

දළුවත්තේ ජිනානන්ද

ගාලු දිසාවේ තල්පේ පත්තුවට අයිති කෝදාගොඩ විහාරස්ථානාධිවාසී කෝදාගොඩ සීලවංස තෙරුන්නාන්සේ

මිරිපැන්නේ ධම්මරතන

අති. අදියර අප්පුහාමි

අකුසබාහු

කරො අප්පු

වේරදූවේ පදිංචි කරො

හබරකඩ ලියනගේ ද්‍රෙන් බස්තියන් ද සිල්වා

අප්පුහාමි

ඒ. ඩී.ඩී. සීකර

මාතර කවිචන්ද්‍ර අප්පුහාමි

ගුණසේකර අප්පුහාමි

තෙම්බොං කඩියා

රා බොන අදිරියා

ශාසත්‍රාලංකාරයේ කලාපයක මිල පැන්ස තුණයි. ඒ කාලයේ රටේ පැවැත්තේ රුපියල් ශත ව්‍යවහාරය නොව පවුම් සිලිං පැන්ස ව්‍යවහාරය යි. රුපියල් ශත ව්‍යව හාරය පටන් ගත්තේ තවත් අවුරුදු 18කට පසුවය.

ශාසත්‍රාලංකාරය සඟරාවේ ඇතුළත් මේ “සව්සන්දම්වාදයේ” ගැන වැඩි විස්තරයක් හා එම කවීන්ගේ කවි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය නම් කෘතියේ කලු කොඳයාවේ ප්‍රඥ ශෙඛරාභිධාන මහ නාහිමියන් ඇතුළත් කර ඇත. එමෙන්ම 1873 හෙන්ද්‍රික් පෙරේරා ජයසූරිය විසින් අච්චුගස්වන ලද සව්සත්දම්වාදය කෘතියේ වාදයේ සියලු දෑ ඇතුළත්ය.

කොළඹ ශාසත්‍රාලංකාරය ප්‍රසිද්ධ කරවන මහත්මයා නමටයි,

මහත්මයාණෙනි,

පසුගියදා සරදම් වාදය ගැන අප විසින් තමුන්නාන්සේ වෙත අච්චු ගස්වනු පිණිස එවන ලද කව් සොලෝ ආදිය තව ස්වල්ප කාලයකට අච්චු නොගස්වා අතපසු කළ මැනවි. මක්නිසාද? “යතලබ සඟරාව” යයි යන නමින් ප්‍රසිද්ධ කරවන පත්රසයෙහි මාස් පතා බැනුම් පිට බැනුම් සාදා ප්‍රසිද්ධ කිරීමක් පටන්ගෙන තිබෙනවා යැ. එනම් “මහණ, මහණෝ” මහණ කෝලම” කොග්ගල රාලේ” යනාදිය යි. තවත් බෙර පදයක් කියා ඒ පදේට “සිව්ර අකවටු ගන්වාගෙන නටාපන්න” කියා තිබෙනවා යැ.

අප වැන්නවුන්ට මෙබඳු නින්දිත නොසරුප් වචන නිරතුරුවම සුරාපානාගාරවල වැද කටගන්නක් රා බීගෙන මත්ව දොඩවන බේබද්දන් අතරේවත් පාවිච්චි කරනවා කිසි කලක අහන්නට ලැබුණේම නැත. ඔයාකාර නින්දිත වචන කියා බනින්නෙක් හා සමග එකසේ වූ බේබද්දෙක් ම මිස අප වැන්නවුන් ගේ කුමන වාදයක් ද? යමෙක් ඔයාකාර නින්දිත තෙපුල් කියා බෙනේ නම් ඔහු ගේ හිතේ බලවත් ඊෂ්යා? ක්රෝධයක් ඇතුව හෝ නැත්නම් කටගන්නක් රා බීගෙන මත්ව වෙරිමරගාතෙන් හෝ ඔයාකාර බනිනවා.

දොඩනවා මිස එලෙස නොවෙනවා නම් ඔබඳු නිශ්රීක තෙල් කියා අප වැන්නවුන්ට බිනීම අන් කවරෙකුට හැකිදැ? ඉතින් ඔයාකාර වෙෂයෙන් දූෂිත සිත් ඇත්තකුට හෝ කවගත්තක් රා බීගෙන වෙරි මරගාතේ දොඩවන්නෙකුට හෝ අප විසින් ගෙන හැර දක්වන් ලද මනා වූ ශ්‍රාස්ත්‍රයන්ගෙන් යෝජන කවරේ ද? හේ ඕ හට අතිශයින් දුසීව ය.

හෙවත් දුර්බෝධය එ හෙයින් පසුගියදා අප විසින් මනා වූ ශාස්ත්රාශත්ථියන් පිහිටුවා ඉහත දැක්වූ වාදය ගැන යම් කව සොලෝ ආදියක් අච්චු ගස්වනු පිණිස තමුන්නාන්සේ වෙත එවන ලද්දේ වී නමුදු ඔය කී තැනැත්තාගේ ස්භාවේ හැටියට ඒවා අප්‍රයෝජන ය යි හැ‍ගෙන නිසා මින් පසු දැනට ඔය තිබෙන ඔහුගේ ස්වභාවය අත්හැරී ගිය බවක් අපට දැන ගන්නට ලැබුණොත් අපගේ කව් සොලෝ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරවීමට කල් දන්වන්නෙමු. ඒ වනතුරු අප ගේ කව් සෝලෝ අච්චු නොගස්වා ප්‍රමාද කරනා හැටියට උදක් ම ඕනෑකමින් ඉල්ලමු.

ජෝන් පෙරේරා මහතා විසින් 1853දී අච්චු ගසා ප්‍රසිද්ධ කරන ලද “හෙළදිව රජනිය” පොතේ මා ළඟ ඇති පරිච්ඡේද කිහිපය

“හෙළදිව රජනිය” හෙවත් පුරාතන පටන් 1850 දක්වා සිංහ රටේ රාජනීතිය නැමැති පිටු 331කින් යුත් පරිච්ඡේද විස්සකින් යුතු ඉතිහාස පොත වර්ෂ 1853දී කොළඹ ස්කොලේ සමාගම වෙනුවෙන් සිංහල භාෂාවෙන් අච්චු ගස්සවා ප්‍රසිද්ධ කරන්න යෙදුනේ ගුරුවරුන් පුහුණු කරන්න සිංහල ශාස්ත්‍ර ශාලාවේ පළමුවෙනි ඉගැනුම් කාර ජෝන්පෙරේරා විසිනි.

අච්චු ගස්සනට යෙදුණේ වැසිලියන් මිසියෝ නාරිස් උන්නාන්සේ‍ලාගේ පොත් අච්චු ගසන ස්ථානයේදීය. 1853දීය. “හෙළදිව රජනිය” මුල් පොතේ පරිච්ඡේද කිහිපයක් දැනට මා සතුව ඇත. මුළු පොතම නැතත් සොයා ගැනීමට අපහසු මේ පොත සිංහල මුල්ම පුවත්පතවන 1860 වසරේ ලංකා ලෝකය පුවත්පත මුද්‍රණය කිරීමට වසර 8කට පෙර මෙය මුද්‍රණය කොට ඇත.

රාජ්‍ය ලේඛනාගාරය පවසන පරිදි ලියාපදිංචි කරන ලද මුල්ම සිංහල පුවත්පත ඇරැඹෙන්නේ “හෙළ දිව රජනිය” මුද්‍රණය කොට වසර 9කට පසුවයි. 1862 සැප්තැම්බර් 17දා වලානේ ශ්‍රී සිද්ධාන්ත හිමියන් බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමාගේ මූලිකත්වයෙන් ජොහැන්නස් පණ්ඩිත තිලක කොග්ගල ගුරුතුමාගේ සංස්කාරකත්වයෙනි.

විශේෂ ස්තූතිය
ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය හා පුස්තකාලාධිපතිනි පී. එස්. චූලනි, අධ්‍යක්ෂ ප්‍රවර්ධන නිලධාරී ප්‍රදීප් ලංකා යන අයට. ශාසත්‍රාලංකාරය සඟරාවේ පිටපත් කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව සුරකිව තැන්පත් කර ඇත. දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතාගේ විශේෂ ඉල්ලීම මත එම සඟරාව ඡායාරූප ගත කිරීමට මා හට අවසර ලැබිණ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා