ජාතික රෝගවලට සෝමවීරගෙන් කෂායක්!

ජාතික රෝගවලට සෝමවීරගෙන් කෂායක්!

සෝමවීර සේනානායක මහතා තවත් අපූරු නවකතාවක් ලියා තිබේ. එය “පංච - වරුණ” ලෙස නම් කර ඇත. මේ නවකතාවෙන් කතුවරයා ජාතියට දෙන වැදගත් පණිවිඩය වන්නේ අපේ උරුමය දෙසත්; හර පද්ධතිය දෙසත් ආපසු හැරී බලනු යන්න ය.

ප්‍රබන්ධ කථාවක පරමාර්ථය ජාතියට පණිවිඩ නිකුත් කිරීම නො වේ. පණිවිඩයක් ගෙන යා යුතු කෙනකු වෙතොත් ඒ සඳහා මාධ්‍ය නිවේදනයක් හෝ එස්.එම්.එස්. පණිවිඩයක් හෝ නිකුත් කළ යුතු යැයි කිසියම් මෝඩයකු කියන්නට පුළුවන. එවන් ගොන් කතා පාඨකයා ගණන් ගත යුතු නැත.

ශ්‍රී ලාංකේය සමාජය තුළ එක් අතෙකින් කෘත්‍රීම ජාතිවාදයක් ඇති කිරීමේ උත්සාහයක් පවතී. තවත් අතෙකින් දේශීය චින්තනය දියාරු කරන විජාතික කුමන්ත්‍රණ ද පවතී. ඒ දෙකට ම දළුලා වැඩෙන්නට ඉඩ නො දී ප්‍රතික්ෂේප කළ යුතු ය. සෝමවීර සේනානායක මහතාගේ වෑයම ඊට වඩා වෙනස් ය. ඔහු කරන්නේ එක්තරා වකවානුවක යථාර්ථයක් කලාත්මක ලෙස නිරූපණය කිරීම ය. මේ මොහොතේ ඔහුගේ වෑයම රටට මෙන් ම ජාතියට ද වැදගත් ය. තව අතෙකින් එය අතිශයින් ම කාලෝචිත ය.

1940 ගණන්වල ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සුන්දර ගම්මානයක වූ සිදුවීම් මාලාවක් කතාවට පාදක වී තිබේ. එම වකවානුව වනා හී රටට නිදහස ලැබෙන්නට ඔන්න - මෙන්න කියා තිබුණු කාලය යි. හෙළයාගේ සටන් පරාජිත ලෙස අවසන් වී තිබුණ ද නිදහස පිළිබඳ අරගලය නිමා වී නොතිබිණි. අධිරාජ්‍යවාදියාගේ පීඩනය ද, සූරාකෑම ද අවසන් වී නොතිබිණි. එහෙත් නිදහස පිළිබඳ අල්පමාත්‍ර හැඟීමක් ඉංග්‍රීසිකාරයා ම ලබා දී තිබිණි. මෙබඳු සුවිශේෂී අවස්ථාවක ගැමියාගේ හැඟීම් - දැනීම් හා අපූරු සිදුවීම් ද පංච - වරුණ නවකතාවට ඇතුළත් ය.

කතුවරයාගේ ගම රන්බැඳිවැව ලෙස හැඳින් වේ. එය වියළි කලාපයේ පුරාණ ගම්මානයක යථාවාදී මොඩලයක් ලෙස හැඳින්විය හැකි ය. ජලයෙන් ආඪ්‍ය වැව, සාරවත් කුඹුරුයාය, ගලේ පන්සල, වනසතුන් ගහන වනාන්තරය, වැලිපාර යන සියල්ල පාඨක සිත් හි මවනුයේ අපූරු විචිත්‍ර සිතුවමකි.

“රන් බැඳි වැවේ වැව් බැම්මේ යන කලට

නෙළුම් මල් සුවඳ බැරුවා ඉවසන්ට

ගොඩ - මඩ දෙක ම සරුසාරයි හරි යසට

වෙදකම තමා සම්පත මෙහි සිරි ලකට”

නවකතාකරුවා ගම නිරූපණය කරනුයේ ආකර්ෂණීය ලෙස ය. මෙබඳු ගමක් වෙත ආපසු ගමන් කිරීමේ ආශාවක් පාඨක සිත්හි ජනිත වේ. එය අතීතකාමය යැයි වරදවා වටහාගත යුතු නැත.

පංච - වර්ණ ප්‍රබන්ධයේ යටි පෙළ දිවෙන්නේ ප්‍රධාන චරිත තුනක් ඔස්සේ ය. සීලරතන හිමියෝ, මුතු බණ්ඩා, හා ඉස්‍කෝලෙ මහත්තයා එම භූමිකාවෝ වෙති. ගලේ පන්සලේ සීලරතන හිමි වනා හී අපේ රහස -උරුමයන් රැකගෙන එන ගුඨ - ශාස්ත්‍රයන්හි කෙළ පැමිණි ජාතික සංකේතයෙකි. මුතු බණ්ඩා වනා හී පාරම්පරික වෙදකමෙහි සූර යුක්තිසහගත ප්‍රභූවරයෙකි. ඉස්කෝලේ මහත්තයා වනා හී ජාතියේ දුර්වලකම් ද විවේචනයට හසු කරමින් සැබෑ නිදහස වෙනුවන් බලවත් කැපවීමක යෙදෙන අපූරු උගතෙකි.

ජාතියේ අනාගතය රැඳී ඇත්තේ මේ තිදෙනාගේ සුසංයෝගය මත යැයි කතුවරයා ඉඟි කරයි. උප ඒජන්ත, රටේ මහත්තයා, ආරච්චි, ලොකු මැණිකේ, සුදු මැණිකේ, චූටි මැණිකේ, කුමාරිහාමි චන්දරේ, සුමනේ, සතී, හීන් අප්පු, පිංචිහාමි යන සෙසු චරිත ද සිද්ධි නිරූපණයෙහි ලා ඉතා සූක්ෂ්ම ලෙස යොදාගෙන තිබේ.

සෝමවීර සේනානායක

කතුවරයා පංච - වරුණ විස්තර කරමින් කියා සිටින්නේ එහි දෙආකාරයක් හෙවත් හේතු දෙකක් ඇති බව ය. පළමුවන්න පංච ශීලය ය. මෙහි ප්‍රධාන චරිත පංච -ශීලය රකිමින් ආදර්ශවත් ජීවිත ගත කරති.දෙවන්න දේශීය වෙදකමෙහි සාරය සේ ගත හැකි පස් - පංගුවයි.මල්, මුල්, කොළ, ගෙඩි, නැටි එය දේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තියකට අවශ්‍ය මූලය ලෙස ද ගත හැකිය.

මේ නවකතාවෙන් තවත් පස් - පංගුවක් මතුවන බව අපගේ අදහස ය. එම පස් පංගුව අනෙකුත් පස් - පංගුවලට වඩා වැදගත් ය. එය අපේ ජාතිය ගොඩනඟන පස් - පංගුව ලෙස ද හැඳින්විය හැකි ය.

(I) නිදහස

(II) අධ්‍යාපනය

(III) සෞඛ්‍යය

(IV) ශාසනය

(V) සංස්කෘතිය

මේ දර්ශනය ම පෙරළා වෙනත් ආකාරයකින් ද පැහැදිලි කළ හැකි ය. එනම්; වෙදකම, ගුරුකම, මහණකම ආදී ලෙසින් ය. කෙනකු මේ තත්ත්වයම පනස්හයේ පෙරැළිය, ජාතික චින්තනය ආදී වශයෙන් විග්‍රහ කරන්නට ද පුළුවන. සො‍්මවීර මහතා අඩු - වැඩි හැටියට ඒ සියල්ල ඒකරාශී කොට ජාතියට අවශ්‍ය දැක්මක් ඇති කරන්නට උත්සාහ කරන්නේ යැයි කීම වඩා නිවැරදි ය.

ඉස්කෝලේ මහත්තයාගේ චරිතය නිරූපණය කරනුයේ අපට ගැළපෙන පරමාදර්ශී චරිතය හා නායකත්වය හැටියට ය. ඔහු කුලභේදය නොසලකයි. නූතන වෙනස්වීම් පිළිගනියි. ඒ අතර ජාතියට ගැළපෙන මහා චින්තනයක් ගොඩනැඟීමට කැප වෙයි.

“ලෝකය වෙනස් වෙනවා! මිනිස්සුත් වෙනස් වෙනවා! ඒ කාරණාව තේරුම්ගන්ට බැරි වුණා ම මිනිස්සු තනි වෙනවා! ගෙවලුත් බිඳ වැටෙනවා!”
(ඉස්කෝලේ මහත්තයා - පිටුව - 169)

“තමන් ගමන් ගන්නා කරත්තය ද කවදා හෝ දිරාපත්ව අබලන්ව ජජ්ජර සකට වනු ඇත. ඒ වන විට සුදස්සන හිමියන් සසරෙන් එතෙර වීමට උත්සාහ කරමින් සිටිනු විය හැකිය. අප කළ යුත්තේ ගිහි බැඳුණු ජීවිතය ජජ්ජර සකට වන තෙක් යහපතෙහි හැසිරීම යැයි ඉස්කෝලේ මහත්තයා සිතා ගත්තේ ය. කරත්තය ඉදිරියට ම ගමන් කරමින් තිබිණි.
(පිටුව - 207)

කතුවරයා අවසන් ලෙස ගමන් කරන්නේ අප විශ්වාස කරන බෞද්ධ චින්තනය දෙසට ය. එය ඉස්කෝලේ මහත්තයා වෙතින් පාඨකයා වෙත සන්නිවේදනය කෙරේ. සෝමවීර මහතාගේ දැක්ම සෙමෙන් ගොඩ නැ‍ඟෙයි. ඔහු එය කෙමෙන් නිරූපණය කරයි. නිදහස පතා සටන් කිරීම, යහපත් සමාජයක් ගොඩනැඟීම හා අධ්‍යාත්මික ලෝකයට ප්‍රවේශවීම යනුවෙන් අවස්ථා තුනක් එහි දැක්වේ. පංච - වර්ණ නවකතාව විධිමත් ආකෘතියක් තුළ දිග හැරෙන සුන්දර නවකතාවකි. එහි කැපී පෙනෙන ලක්ෂණය රූපණය යයි. ඔහුගේ ඇතැම් ගද්‍ය ආඛ්‍යානයක්; සජීවී සිනමා රූපරාමු පෙළකට සමාන ය.

“රන්බැඳිවැවේ වැව් බැම්මේ පාර දිගේ මහ වෙද ගෙදර බක්කි කරත්තය ගමනේ යෙදෙයි. උදෑසන හිරු රැස් දහර රන් බැඳිවැව මත වැටී රන් පැහැයෙන් දිදුළයි. සූදු රතු නෙළුම් පොහොට්ටු විකසිත වෙමින් පවතී. ඉතා සරල උත්සවයක දී නිත්‍යානුකූලව විවාහ වූ ඉස්කෝලේ මහත්තයා හා සමන්මලී කරත්තය තුළ ගමන් කරති”
(පංච වරුණ - පිටුව - 206)

සෝමවීර සේනානායක තමන්ගේ ප්‍රබන්ධය රසවත් කතාන්දරයක් බවට පත් කිරීම සඳහා ද ආකර්ෂණීය චරිත නිරූපණ ගොඩනැඟීම සඳහා ද පළාත් දෙකකින් ප්‍රභූ පවුල් දෙකක් තෝරාගනී. එක් පවුලක් වයඹ රන් බැඳිවැවේ වෙද ගෙදර ය. අනෙක් පවුල උඩරට මාතලේ කුමාරිහාමිගේ වලව්ව ය. මේ දෙපළාතේ සිරිත් විරිත් හා ඇවැතුම් - පැවැතුම් ද, ඝට්ටන ද කතාවෙන් මනාව නිරූපණය කෙරේ.

කතුවරයා අපේ උරුමය සොයා යන අතර අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විවේචනයට මෙන්ම හාස්‍යයට ද ලක් කරයි. ඔහුගේ දැක්ම පිළිගත හැක්කේ එබඳු විචාරාත්මක දෘෂ්ටියක් ඔස්සේ අතීතය විග්‍රහ කරන බැවින් ය. ආරච්චිගේ හා රටේ මහත්තයාගේ දීනකම සේම සුදු නිලධාරීන්ගේ උද්ධච්චකම ද කතුවරයා සදය උපහාසයට ලක් කරයි. ඒ ඔස්සේ කතා රසය ද මතුවෙයි.

“මොනවද බොල ඉහ උඩ තියාගෙන?”

ආරච්චි ඇසුවේ ය.

“ධර්මපාලතුමා, මහින්ද හාමුදුරුවො, පියදාස සිරිසේන මහත්තය එහෙම” ආරච්චි ඔහු දෙස බැලුවේ මවිතයට ද කුතුහලයට ද පත්ව ය.
(ආරච්චිගේ උද්දච්ඡකමට පිළිතුරක් පිටුව 172)

“දෑවැද්දට වෙල්ලහැලියක් එක්ක රිදී නැන්දගෙ දුව එක්ක වර” කුමාරිහාමි කඩා පැන්නා ය.
(කුමාරිහාමිගේ කුලවාදය උපරිමයෙන් - පිටුව 167)

අප්‍රිකානු මහාද්වීපයේ මහා සාහිත්‍යකරුවා ලෙස ද පෙර ගමන්කරුවා ලෙස ද ප්‍රකට චිනුවා අචෙබේ ද (1930 – 2013) නයිජීරියාවේ ඉබෝ ගෝත්‍රිකයන්ගේ උරුමය සොයා අතීතයට ගියේ ය. ඔහුගේ විශේෂත්ය වූයේ උරුමය තුළ ඇති දුර්වලකම් ද විවේචනයට හසු කරමින් නයිජීරියාවට ගැළපෙන චින්තනයක් ඇති කිරීම ය. අප්‍රිකාවට අවශ්‍ය නූතන අධ්‍යාපනය යැයි වරෙක ඔහු කියා සිටියේ ය. නයිජීරියාවට අවශ්‍ය අවංක දේශපාලන නායකයන් යැයි තවත් වරෙක ඔහු කියා සිටියේ ය. ඔහුගේ සාහිත්‍ය වෑයම මුළුමනින් ම වෙන් වූයේ නිදහස් නයිජීරියාවකට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමට ය. සෝමවීර යනු අචෙබේ තරම් දැවැන්ත රචකයකු නොවන්නේ වුව ඔහු තුළ ද අඩු - වැඩි වශයෙන් එම ලක්ෂණ දකින්නට ලැබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා