ශ්‍රී ලංකා-ඉන්දියා සිවුවැනි එක්දින තරගය අදයි

ශ්‍රී ලංකා-ඉන්දියා සිවුවැනි එක්දින තරගය අදයි

මහේල ඉනිම ආරම්භ කිරීමේ සූදානමක

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ කල්කටා නුවර අද (13) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධනට ලබා දීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

දෙපිල අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් 3-0කින් ඉන්දියාව ජයගෙන සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මූලික හේතුවක් වන ආරම්භක පිතිකරුවන්ගේ අස්ථාවභාවය මත මහේලට මේ අවස්ථාව ලැබෙනු ඇතැයි පැවැසේ‍. ඉන්දියාවට කඩුලු 6ක ජයක් ද, තරගාවලියේ ජයග්‍රහණය ද අත්කර දෙමින් හයිද්‍රබාද් නුවර පැවැති තුන්වැනි තරගයේ දී අගනා ශතකයක් රැස් කළ මහේල මේ සංචාරයේ සාර්ථකම ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්විය.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ වගකීම සාර්ථකව ඉටු කළ පිතිකරුවෙකි. එක්දින තරග 35ක දී ඉනිම ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර ඇති මහේල එහි දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 1343කි. ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 7ක් රැස් කිරිමට ද ඔහු සමත්විය.

ඉන්දියාව සමග පැවැති පළමු තරගයේ දී උපුල් තරංග ද, දෙවැනි හා තුන්වැනි තරගවල දී කුසල් ජනිත් පෙරේරා ද ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව ඉනිම ආරම්භ කළහ. එහෙත් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඔවුන්ට හැකිවුයේ නැත.

උපුල් තරංග පළමු තරගයේ දී ලැබූ ලකුණු සංඛ්‍යාව 28කි. අනතුරුව තරංග වෙනුවට ඉනිම ආරම්භ කළ කුසල් ජනිත් පෙරේරා ‍දෙවැනි තරගයේ දි ලකුණු නොලබා දැවී ගිය අතර තුන්වැනි තරගයේ දී රැස් කළේ ලකුණු 4ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ ස්ථාවර ආරම්භක පිතිකරු වන තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේ දි ලකුණු 18කට දැවී ගිය අතර දෙවැනි තරගයේ දි ලකුණු 35ක් ද, තුන්වැනි තරගයේ දී ලකුණු 53ක් ද රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් එසේ අසාර්ථක වෙද්දී ඉන්දියා පිලේ ආරම්භක පිතිකරුවන් වන අජින්ක්‍යා රහානේ සහ ශිකර් ධවාන් සිය කණ්ඩායම වෙනුවෙන් තරග 3දීම ප්‍රශංසනීය සේවයක් ඉටු කිරිම කැපී පෙනුණි. පළමු තරගයේ දී දෙදෙනාම ශතක රැස් කරමින් පළමු කඩුල්ලට ලකුණු 231ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර තුන්වැනි තරගයේ දී ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

අහමදාබාද් හී පැවැති දෙවැනි තරගයේ දී රහානේ ලකුණු 8කට දැවී ගිය ද ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ ධවාන් ලකුණු 79ක් රැස් කිරීමට සමත්විය. මේ අතර සිවුවැනි හා අවසන් එක්දින තරග සඳහා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම නියෝජනය කළ ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ෂාමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට එක්වී සිටිති. තිරිමාන්න සහ චන්දිමාල් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් ලෙස කටයුතු කරන බැවින් අද තරගයේ දී මහේලට ආරම්භක පිතිකරු ලෙස ඩිල්ෂාන් සමග ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව උදාවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා