කවි කොහේ තිබුණත් ඇගැයිය යුතුයි

කවි කොහේ තිබුණත් ඇගැයිය යුතුයි

ජයසිරි අලවත්ත

ආධුනික කවි කිවිඳියන්ගේ වාර්ෂික කාව්‍ය අස්වැන්න වන 'මකරන්ද කාව්‍ය විමංසා' විචාර ග්‍රන්ථය 'මකරන්ද කව් සරණිය' ගැන ලියැවුණු අර්ථ පූර්ණ විවරණයකි. උපමා, රූපක, සංකේතයන්ට අමතරව කවියට පසුබිම් වූ සමාජ දේශපාලන පසුබිම ගැන ද ජයසිරි අලවත්ත විචාරකයා අවධානය යොමු කරයි. නව කවියේ රුව ගුණ ගැන ඔහු දැක්වූ අදහස් මෙසේය.

* අපේ රටේ කවිය පරිශීලනය කරන පාඨක පිරිස ඉතාම සීමිතයි. එවැනි පසුබිමක කාව්‍ය විචාර ග්‍රන්ථයක් ලියන්න අදහස් කළේ ඇයි?

විචාරයට ලක් ‍කරන්නේ කෙටි කතාවක්ද, කවියක්ද, එහෙම නැත්නම් නවකතාවක්ද කියන දේ මට අදාළ දෙයක් නෙවෙයි. නිර්මාණය තුළ ඇගැයිය හැකි සාධනීය ලක්ෂණයක් තිබේ නම් එය මතු කර දැක්වීම මගේ වගකීමක්. 'මකරන්ද' කවි පොත සාමූහික නිර්මාණයක්. ඒ නිසා එම පො‍ෙත් එන කවීන් අතරින් කිහිප දෙනෙක්ගේ නිර්මාණ විචාරයට ලක් කිරීම අනෙක් අයට කරන අසාධාරණයක්. අනෙක් පැත්තෙන් සියලුම විචාර පුවත්පතක පළ කරන්නත් අමාරුයි. පළ කරන මාධ්‍ය ගැන හිතන්නේ නැතිව විචාර ලිව්වා. ප්‍රකාශකයෙක් ලැබුණ නිසා එළිදක්වන්න පුළුවන් වුණා.

* ඔබ 'මකරන්ද කවි සරණිය' විචාරයට ලක් කරන්නේ කුමන පදනමකින්ද?

ඇතැම් පිරිස් කවිය විචාරයට ලක් කිරීමේදී පදනම් කරගන්නේ විරිත, උපමාලංකාර, කාව‍ේ‍යා්ක්තියේ ශක්තීන් වගේ දේවල්. එය කවියට අවශ්‍ය දෙයක්. නමුත් කවියට පසුබිම් වූ සමාජ, දේශපාලන අරුත් එයින් මඟ හැරෙනවා.මම උත්සාහ කළේ කවියේ රුව ගුණ වගේම එය යටින් දිවෙන දේශපාලන අරුත් මතු කර ගන්නයි. එහිදී කවියේ එන උපමා රූපක, සංකේතාර්ථ, ව්‍යංගාර්ථ නොසලකා හැරියේ නැහැ. කවිය නොකියන දේ මට වැටහුණු ආකාරයට තවත් කෙනෙකුට වටහාදීම මගේ පරමාර්ථයයි. තමන් දුටු සමාජ, දේශපාලන අසාධාරණය කවීන් වෙනත් විදිහකට කියනවා. කවියේ පිට පොත්ත රසවිඳීමෙන් මේ කාරනාව අහුවෙන්නේ නැහැ.

* දෘෂ්ටිවාදී ප්‍රවේශයකින් 'කවි' විචාරය කිරීමට ඔබ විරුද්ධයි. ඒ වගේම ඔබ විචාරය හඳුන්වන්නේ සහෘද ආමන්ත්‍රණයක් විදිහට. මෙයට හේතුව කුමක්ද?

කවි රස විඳින්න පුළුවන් වරප්‍රසාදලාභී පිරිසකට පමණයි. මම මෙතැන වරප්‍රසාදලාභී කියන්නේ මුදල් හෝ බලය කියන අදහසින් නෙවෙයි. දැනුමේ වරප්‍රසාදය ඇති අය ගැනයි. කවිය රසවිඳීම සීමිත පිරිසකට පමණක් සීමා වී තිබීම නිර්මාණයට වගේම කවියාටත් කරන අසාධාරණයක්. කවි විඳින්න නොදන්න රසිකයාට එය රස විඳින මාර්ගය පාදාදීම මේ උත්සාහයේ තවත් අරමුණක්. මේ නිසා විචාරයට පදනම් වූ 'මකරන්ද' කවි පොත හොයාගෙන කියවන පාඨක පිරිසක් බිහිව තිබෙනවා. කවියා 'කවිය' අභිබවා මතු කරන්න උත්සාහ කරන සමාජ යථාර්ථය යළි සමාජගත වූ අවස්ථාවක් විදිහට මෙය සැලකිය හැකියි.

* බොහෝ අංකුර නිර්මාණකරුවන් සිය නිර්මාණ චාරිකාව ආරම්භ කරන්නේ කවියෙන්. එසේ තිබියදී කවිය පරිශීලනය කරන පිරිස අඩුවීමට හේතුව කුමක්ද?

ඇත්තටම කවි ලිවීම පහසු කාර්යයක් නෙවෙයි. නවකතාවක්, කෙටි කතාවක් ලියනවට වැඩිය කවි ලිවීම අපහසුයි. මේ බැරෑරුම් බව වටහාගෙන කවි නොලියන පිරිසක් ඉන්නවා. නමක් හදා ගන්න කවි ලියන අය වගේම එයට හැබෑවටම ආදරය කරන පිරිසක් ද සිටිනවා. කවිය සමඟ දිගින් දිගටම පොර බදන්නේ මේ පිරිසයි. 'එක කවියක් ලියන්න කලින් කවි සියයක් කියවිය යුතුයි'. කවිය පහසු කටයුත්තක් ලෙස සැලකීම සැබෑ වුවමනාවෙන් කාව්‍යකරණයේ යෙදෙන පිරිසට කරන අසාධාරණයක්. කවීන් ඇත්තටම 'කවි' ලිව්වොත් ඒවා රසවිඳින්න වගේම පළ කරන්නත් පිරිසක් ඉන්නවා.

* තරුණ කවීන්ගේ වාර්ෂික අස්වැන්න වන මේ එකතුවේ ඔබ දකින පොදු බව කුමක්ද?

සමස්ත සමාජය මුහුණ පා තිබෙන අර්බුදය සෑම කවියෙක්ම පාහේ ග්‍රහණය කරගෙන තිබෙනවා. ආගමික, දේශපාලන, කලාත්මක ආකාරයෙන් මුහුණ දෙන පීඩනය කවියේ තියෙනවා. කවිය මේ තත්ත්වය සෘජුවම ප්‍රකාශ කරන්නේ නැහැ. විචාරය වැදගත් වන්නේ එතැනදී. ළහිරු කිතලගම කවියාගේ 'ඇඹැරැල්ල ගසේ කවිය' පද්‍ය නිර්මාණයේ සියලු නොපනත්කම්වලට එරෙහි නැගී සිටිමි' කියලා කියන්නේ ගස. කාංචනා අමිලානි ගේ 'සිරිමත' පද්‍යයේ පුද්ගලික බස් සේවාවේ තියෙන අර්බුදය ප්‍රකාශ වෙනවා. ඇය මේ ව්‍යසනයට හේතුව එක තැනකින් නතර කරනවා. ඒක කිවිඳියගේ සීමිත කමක්. කලාකරුවාගේ වගකීම ග්‍රහණය කර ගැනීමට මේ තරුණ කවීන් සමත්ව තිබෙනවා. එය තේරුම් ගත නොහැකිවීම රසිකයාගේ අඩුපාඩුවක් මිසක් කවියාගේ වැරැද්දක් නෙවෙයි.

* කවිය ගායනය මත පදනම් වූ දෙයක් නිසා විචාරයේදී අක්ෂර වින්‍යාසය අදාළ කර ගැනීම අසාධාරණ නොවේද?

කවි ගායනා කරන්න තිබෙන දෙයක් විදිහට මම සළකන්නේ නැහැ. ඒ සඳහා ගීත තිබෙනවා. පැල් කවි ගායනා කළා තමයි. අද නිසඳැස් හෝ සඳැස් කවි ලියවෙන්නේ ගායනා කරන්න නොවෙයි.කවිය අර්ථ පූර්ණ අලංකාර යමක් දෙන මාධ්‍යයක්. ඒ නිසා කවියා ගොඩනගන අර්ථය කවියෙන් කියවෙන්නේ නැති විත්තිය පාඨකයාට දැනෙනවා. කවියේ අර්ථය වෙනස් වෙනවා. භාෂා රීතිය නොසලකා නිර්මාණකරණයේ යෙදෙන අය ඒ නිර්මාණ නොකර සිටිනවා නම් හොඳයි.

* පුවත්පත් හරහා අංකුර කවීන් මතුවන යුගය නිමාවී 'සයිබර් කවීන්' බිහිවන යුගයකට පැමිණීම ඔබ දකින්නේ කවියේ වර්ධනයක් විදියටද?

මම සයිබර් අවකාශයේ කවි කියවන පාඨකයෙක් නෙවෙයි. එහි ලියැවෙන කවි වෙනත් තැන්වල උපුටා දැක්වෙනවා. ඒ කවි අතර හොඳ කවි තියෙනවා.'තිබුණ නම් වලිග මිනිහට වනලා වනලාම කැඩිලා මෙලහට' මේක ඉන්දික ගුණවර්ධනගේ කවියක්. සයිබර් අවකාශයේ ලිව්වයි කියලා ඔහුගේ කවියෙන් මතුවන අරුතේ අඩුවක් නැහැ. පත්තරේ පොතක සයිබර් අවකාශයේ මේ කොතැනක තිබ්බත් කමක් නැහැ. එතැන කවිය තියෙනවා නම් එය අගය කළ යුතුයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා