ඩිජිටල් යුගයට භය නැති දිනමිණ

ඩිජිටල් යුගයට භය නැති දිනමිණ

දිනමිණ සිය ගමන් මගෙහි එකසිය පස්වන සැතැපුම් කණුව පසු කරමින් සිටිය දී; ලෝක පත්තර කලාවේ නව ප්‍රවණතා ගැනත් එම කර්මාන්තයේ වර්තමාන තත්ත්වය ගැනත් ලුහුඬින් යමක් කියන්නට කැමැත්තෙමු. අද වන විට පුවත්පතක් පවත්වාගැනීම හැම අතකින් ම අභියෝගයක් බවට පත් ව තිබේ.

පාඨකයන් ශීඝ්‍රයෙන් අඩුවීම, පත්තර - පත්තර අතර තරගය, පත්තර හා විද්‍යුත් මාධ්‍ය අතර තරගය, නිර්මාණශීලී රචකයන්ගේ අඩුව, අලුත් තාක්ෂණයට හුරු නොවීම වැනි සාධක රැසක් ඒ කෙරෙහි බලපා තිබේ.

ලෝකයේ විධිමත් පත්තර කලාව ආරම්භ වී වසර තුන්සිය ගණනක් ගෙවී ගොස් ඇති අතර මේ කලාවේත් කර්මාන්තයේත් ප්‍රශස්ත මට්ටම වාර්තා වූයේ යුරෝපය වෙතින් ය. යුරෝපා පත්තර කලාව හා කර්මාන්තය මේ වන විට කඩා වැටෙමින් පවතී.

ප්‍රධාන සාධකය ලෙස සැලකෙන්නේ පත්තර අලෙවිය ශීඝ්‍රයෙන් පහත වැටීම ය. 2007 – 2009 වර්ෂ දෙක ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව අලෙවියේ පහත වැටීම පහත පරිදි වේ.

ග්‍රීසිය - 20%

ජපානය - 18%

කැනඩාව -17%

එංගලන්තය - 25%

අමෙරිකාව - 30%

2010 අධ්‍යයන වාර්තාවකට අනුව එක්සත් රාජධානිය තුළ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳුණු 15,000 – 20,000 අතර ප්‍රමාණයකට වසර පහක් වැනි කෙටි කාලයක් තුළ දී තම රැකියා අහිමි විය. 2001 සිට ම මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අහිමිවීම් බහුල විය. බී.බී. සී. ආයතනය පමණක් ගෙවී ගිය කෙටි කාලය තුළදී රැකියා දහසක් කපා හැරියේ ය. එය දැන් නොකඩවා සිදුවෙමින් පවතී.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත ෆෙයාර්ෆැක්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් මැතිව්ස් පෙන්වා දෙන ලෙස පාඨක ගහනය අඩු වෙයි. ප්‍රේක්ෂක ගහනය වැඩිවෙයි. ගෙවීගිය වසර පහ තුළ පත්තරයට ආයුබෝවන් කියා ඩිජිටල් මාධ්‍ය වෙත ගිය පිරිස 30%ක් වෙති.

2011 සමීක්ෂණයකට අනුව පත්තර, ටෙලිවිෂන් හා රේඩියෝව අතහැර ඔන්ලයින් මාධ්‍ය වෙත ගිය පිරිස 17.2%ක් වෙති. පසුගිය දසක දෙක - තුන තුළ යුරෝපයේ පත්තර කලාව හැම අතකින් ම අභියෝගයට ලක් විය. අපගේ සිහියට නැ‍ඟෙනුයේ “The History Makers” නම් මා හැඟි ග්‍රන්ථය යි.

යුරෝපීය පත්තර කලාවේ ආරම්භය, විකාශනය හා එහි දැවැන්ත කාර්යභාරය ද ඊට උරදුන් ප්‍රධාන කර්තෘන් ගැන ද අපූරු විග්‍රහයක් එහි පළවේ. මේ කෘතිය යුරෝපය කොටස් තුනකට බෙදා දක්වයි.

1. එංගලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෝර්වේ (උතුරු යුරෝපය)

2. ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය ( මධ්‍යම යුරෝපය)

3. ඉතාලිය, ග්‍රීසිය, ඇල්බේනියාව, බල්ගේරියාව, චෙකෝස්ලොවේකියාව, හංගේරියාව, පෝලන්තය, රුමේනියාව, යුගොස්ලාවියාව (නැ‍ඟෙනහිර යුරෝපය)

මේ කලාප තුනෙහි ම පුවත්පත් කර්මාන්තය ඉතා සාර්ථක ව පැවැතිණි. ඩෙන්මාර්කය හැඳින්වූයේ පත්තර කියවන රට වශයෙන් ය. (The Land of News papers reading) චෙකෝස්ලොවේකියාව හැඳින්වූයේ ෆූචික්ගේ රාජ්‍යය ලෙස ය. ජූලියස් ෆූචික් යනු පත්තර නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු අභීත පත්‍රකලාවේදියෙකි. මේ සෑම රටක ම නූතන පත්තර කලාව අවුල් සහගත ය. පෙර පැවැති ආලෝකය ඒවා කෙරෙන් පහව ගොසිනි.

ලෝක පත්තර කලාව යම් අවගමනයක් සටහන් කර තිබුණ ද ආසියාවේ හා අප්‍රිකාවේ පත්තර තව ම නොසැළී තම කර්මාන්තය කරගෙන යයි. චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් මීට නිදසුන් ලෙස ගත හැකි ය. එහෙත් මේ රටවල පත්තර කර්මාන්තය හමුවේ ද අභියෝග රාශියක් පවතී. එම අභියෝග පහත සඳහන් පරිදි වේ.

(I) කර්මාන්තයක් ලෙස හා ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම

(II) පාඨක ආකර්ෂණය දිනාගැනීම සඳහා අලුත් උපායමාර්ග සෙවීම

(III) අලුත් තාක්ෂණය වැලඳගැනීම (ඩිජිටල් පත්තර වෙත මාරුවීම)

(IV) සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම

මේ සියල්ලම බලවත් අභියෝග ලෙස පවතී. ඒ අතර වෑන් ආයතනය කියා සිටින්නේ අලුත් උපායමාර්ග ඔස්සේ පත්තර ජීවත් කරවිය හැකි බව ය. බලාපොරොත්තු අත් නොහැර අලුත් ශිල්ප - ක්‍රම වෙත මාරු වෙන්නැ’යි ඔව්හු ඉල්ලා සිටිති.

දහනම වන සියවසේ මැද භාගයේ දී ද පත්තර කලාවට මෙවන් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු විය. ටෙලිග්‍රාප්, කේබල්, ටෙලිෆෝන්, රේඩියෝ එම අභියෝගවලින් කිහිපයකි. එහෙත් පත්තර පැරැදුණේ නැත. ස්පාඤ්ඤයේ මනුවෙල් කැස්ටෙල්ස් කියන ලෙස ඉදිරියට ඇත්තේ ඩිජිටල් ලෝකයකි. පත්තර ද එම ඩිජිටල් ලෝකය වෙත පියාඹා යා යුතු ය.

මෙවන් ලෝක තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ දිනමිණ වැනි පුවත්පතක් සම්ප්‍රදාය රැකගනිමින් වසර එකසිය පහක් වැනි කාලයක් සාර්ථකව පවත්වාගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. අප දන්නාලෙස දැනට ශ්‍රී ලංකාවේ පවතින පැරැණි ම ජාතික පුවත්පත දිනමිණ ය. ඊට ඇති කීර්ති නාමය ද බලවත් ය.

දිනමිණ ආරම්භ වන්නේ 1904 දෙසැම්බර් 17 දා ය. එනම් අද වැනි දිනයක ය. අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් වැදුණු දේශප්‍රේමීන් අමතා සිංහලෙන් කතා කළ හැකි පුවත්පතක අවශ්‍යතාව එදා දිනමිණ මඟින් පිරිමසා ගනු ලැබීය. ජාතියේ ඉදිරි ගමනට එතෙක් - මෙතෙක් දිනමිණෙන් වූ සේවාව මැදිහත් විචාරකයන්ගේ පැසසුමට ලක් ව තිබේ. ආචාර්ය සරත් අමුණුගමගේ මතයකට අනුව එකල රට පාලනය කළ ආයතන හතරක් තිබිණි. ඉන් එකක් ලේක්හවුස් ආයතනය යි. හෙවත් දිනමිණ කන්තෝරුව යි. එම ආයතන හතර පිළිවෙළින් ගතහොත් (1) රජගෙදර (2) පාර්ලිමේන්තුව (3) ලේක්හවුස් ආයතනය (4) ප්‍රධාන ලේකම් කාර්යාලය.

මුල් යුගයේ ලේක්හවුස් ආයතනය හැඳින්වූයේ දිනමිණ කන්තෝරුව ලෙස ය. පසු කලෙක ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පාලනය යටතේ දිනමිණ කන්තෝරුව ආසියාවේ වඩාත් විධිමත් පත්තර කන්තෝරුවක් බවට පත් විය. අද එය හඳුන්වන ගෞරවණීය නාමය වන්නේ පත්තර මහ ගෙදර යන්න ය. ශ්‍රී ලංකාවේ විසිරී සිටින දැවැන්ත පත්තරකාරයන්ගේ මුල් රැකියා ස්ථානය හා අභ්‍යාස ආයතනය වූයේ පත්තර මහ ගෙදර ය. අදත් මේ දැවැන්ත පත්තර කාරයෝ හා ශාස්ත්‍රඥයෝ දිනමිණ කන්තෝරුවට ගරු කරති.

දිනමිණ පුවත්පතෙහි සම්ප්‍රදායට අනුව එහි වැඩකටයුතු කරගෙන යා හැක්කේ ප්‍රධාන සාධක හතරක් ද සැලැකිල්ලට ගනිමින් ය.

(I) රටේ ඉදිරි ගමනට සහයෝගය පළ කිරීම

(II) දැඩි ආචාර ධර්ම පද්ධතියක් අනුව පත්තර කලාව හැසිරවීම

(III) සමාජ හා සාංස්කෘතික ක්‍රියාවලියේ දී මුල්තැන ගැනීම

(IV) කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ හා යුක්තිසහගත ලෙස සැලැකීම.

පත්‍රකලාවේදියකුට ඇති නිදහස, වටිනාකම හා ගෞරවය සම්බන්ධයෙන් බලන විට ශ්‍රී ලංකාවේ ඇති වෙනත් කිසිදු පුවත්පතකට වඩා දිනමිණ ක්‍රමය සාධාරණ ය. යුක්ති සහගත ය.

අප මුලින් ද සඳහන් කළ පරිදි දිනමිණ ආරම්භ වූයේ රට හා ජාතිය වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ය. අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් අරගලයේ සිට ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ දෙවන නිදහස් අරගලය තෙක් ප්‍රමුඛ සන්නිවේදන මෙහෙයුම් ඉටු කිරීමට දිනමිණ සමත් විය. එය පරමාදර්ශී සන්නිවේදන මෙහෙයුමක් ලෙස ද හැඳින්විය හැකි ය. අතීතය සොයන කෙනකුට මෙන් ම අනාගත ය දකින කෙනකුට ද අප පුවත්පත වැදගත් වන්නේ මේ ඓතිහාසික කාර්යභාරය නිසා ය.

සාහිත්‍ය - කලා - සාංස්කෘතික කටයුතුවලදී දිනමිණ ගෙන යනු ලබන නිදහස් ආර බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. අපට කල්ලිවාද නැත. ගුරුකුලවාද නැත. හරි දේ හරි කීමටත්, වැරැදි දේ වැරැදි යැයි කීමටත් නිදහසක් මේ පුවත්පත තුළ තිබේ. මේ නිසා ම කබල් සාහිත්‍ය නිර්මාණවලට නිර්දය විචාර ඉදිරිපත් කිරීමට පවා දිනමිණ නො පැකිලි ය. ප්‍රවීණයාට මෙන් ම ආධුනිකයාට ද යුක්ති සහගත ලෙස සලකන එක ම පුවත්පත දිනමිණ බව අපගේ හැඟීම ය.

පුවත්පතක මෙහෙයුම්කරුවා වන්නේ එහි ප්‍රධාන කර්තෘවරයා ය. කර්තෘවරයාගේ නිර්මාණ හැකියාව හා කළමනාකරණ හැකියාව පත්තරයෙන් හොඳට පෙනෙන බව කියති. කීර්තිමත් පුද්ගලයෝ රැසක් මේ පවුත්පතෙහි කතුකම කළෝ ය. අද එහි ප්‍රධාන කර්තෘ ධුරය දරන්නේ ගාමිණී ජයලත් මහතා ය. දිනමිණෙහි කර්තෘ පදවිය දැරූ තරුණ මාධ්‍යවේදියා ද ඔහු ය. ඔහු වරෙක ඉතා රැඩිකල් තීන්දු ගනියි. අලුත් ඉසව් සොයා ගෙන යයි. මේ කර්තෘවරයා යටතේ අලුත් හා යහපත් වෙනස්කම් රැසක් ඇති වී තිබේ.

අපේ සරසවිය බඳු දිනමිණට සුබ උපන් දිනයක්!

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා