බෞද්ධ පුනර්ජීවනයේ දූරදර්ශී නියමුවා

බෞද්ධ පුනර්ජීවනයේ දූරදර්ශී නියමුවා

යුද ගිනි දැල් හමාර කළ නිවහල් - නිදහස් දේශයක ශක්තිමත් සංවර්ධන අඩිතාලම මතින් නැගී සිටින මිනිසුන් ඒකාවන්ව තම මාතෘභූමිය ජාතික, ආගමික, සමාජීය, ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන්ද සමෘද්ධිමත් කරලීමේ මහා ජාතික යුතුකමෙහි කොටස්කරුවන්ව සිටිනු දක්නට ලැබීම භාග්‍යයකි.

රට ජාතිය වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් ඉටු කිරීමේදී ගරුතර මහා සංඝරත්නය ද ජාතියේ මුර දේවතාවන්ව පෙරමුණේ සිටී. අතිගරු ජනාධිපතිතුමන් තම සියලු කාර්යයන්හිදී ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හා මාර්ගෝපදේශ ලබා ගනිමින් බුද්ධාගම මුදුන්මල්කඩක් කොට සලකා, සෙසු සියලු ආගම් ද සමස්ථානයෙහි ලා කටයුතු කිරීම තුළින් රාජ්‍ය නායකයා වශයෙන් ක්‍රියාවෙන් දක්වන ආදර්ශය සැමටම ආදර්ශයකි.

ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ද අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම සුවිශේෂී වන්නකි. බුද්ධාගම පමණක් නොව සෙසු ආගම් අදහන ජනතාවගේ සිත් සතන් ප්‍රබෝදවත් වන ආකාරයෙන් එතුමන් නිර්ව්‍යාජව කටයුතු කරන ආකාරය සුවිශේෂී වේ.

අතිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යධුරය හොබවන කාලයේ සිට අද දක්වාම අඛණ්ඩව අරලියගහ මන්දිරය කේන්ද්‍රකොට ගනිමින් පවත්වනු ලබන “අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාව” ශ්‍රද්ධාවෙන් පමණක් නොව ප්‍රඥාවෙන් ද පිරි පුරවැසියන්ගෙන් සමන්විත - යහගුණදම් අගයන - යහගුණදම් සුරකින යහපත් සාධු ජනසමාජයක් බිහිකරලීම උදෙසා අතිගරු ජනාධිපතිතුමන්ගේ සද්වෑයමකි.

“අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුනේ මෙත්තාව, මුදිතාව, කරුණාව තුළිනි. මිනිසා පමණක් නොව සතා සිවුපාවා, ගහකොළ මහපොළව දක්වා පැතිරුණු මෙත් සිත එහි පදනම විය. විවිධ හේතු නිසා ඉරිතැළී ගිය මේ සිත් නැවත එක් ජාතික අරමුණකට ගොනු කරවීම මාගේ අපේක්ෂාවයි. සියල්ලන්ගේ ජාතික හා ආගමික අනන්‍යතාවන්ට ගරු කිරීම, කිසිවකුට බලය යොදා හිරිහැර නොකිරීම, පුද්ගල නිදහස හා සමාජ නිදහස සුරැකෙන නව සමාජයක් බිහිකිරීම මාගේ බලාපොරොත්තුවයි.”

මහින්ද චින්තන -( 25 පිටුව) අනුව කටයුතු කරමින් බුදුදහම හා බෞද්ධ දර්ශනය තුළින් මුළු ලෝකයට මාහැඟි පණිවුඩයක් සංනිවේදනය කිරීමට ඒතුමා දක්වන කැපවීම ප්‍රශස්ත වේ. දසුනින්, වදනින් සේම ක්‍රියාවෙන් ද ආකර්ෂණීය එතුමන් තමන් විසින් ප්‍රකාශ කළ දෙය ක්‍රියාවෙන් ද ඔප්පු කරන සැබෑ ජනමූල නායකයෙකි. ජනතා ආකර්ෂණය තම සහජ වාසනා ගුණයක් යැයි සිතෙනා තරමටම පුණ්‍යවන්ත, ගුණගරුක මහත්මා ගතිවලින් පොහොසත් රාජ්‍ය නායකයකු වන එතුමන් වෙහෙර විහාර ඉදිකරමින් , පන්සල් හා පූජාභූමි සංවර්ධනයට දක්වන දායකත්වය එතුමන්හට මෙලොව හා පරලොව වශයෙන් ප්‍රතිඵලදායක වනු ඇත.

“අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප්‍රතිනිර්මාණ්‍ය කරමින් ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරමි” -මහින්ද චින්තන ඉදිරි දැක්ම - 2010 – 16 පිටුව යන්න යථාර්ථයක් බවට පත් කරවමින් මහා සංඝරත්නයේ ධර්ම ශාස්ත්‍ර ඥානය වඩා වර්ධනය කරලීම උදෙසා සහ මහා සංඝරත්නයේ ධර්මඥානය ඔප්නන්වා ගැනීම සඳහා පිරිවෙන් ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කළ ආකාරය සුවිශේෂී වේ.

මහා විහාර සම්ප්‍රදායෙන් ඇරඹි අතීත සම්භාවනීය පිරිවෙන් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත් ප්‍රවේශයකින් යුත් නම්‍ය ඇරඹුමකින් හා ජවයකින් යුතුව ප්‍රතිසංවිධානය කිරීමට කඩිනම් විසඳුම් සහිත ආරම්භයක් ලබාදුන් එතුමා පිරිවෙන් අධ්‍යාපනය සඳහා වඩ වඩාත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් බුද්ධශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් ඉටුකළ සියලු දෑ ප්‍රශංසනීය වේ. එසේම මෙය සංඝ සමාජය තුළ ඉතිහාසගත වන්නකි.

වර්තමාන සමාජයේ පැහැදිලිව දක්නට ලැබෙන සාරධර්ම පරිහානිය වළක්වා ගැනීම සඳහා, රටට පෙර පැවති බෞද්ධ අධ්‍යාපනය සහිත බෞද්ධාගමික කටයුතු මෙන්ම, බෞද්ධාගම පිරිහීමට පත්වීමට ඉඩ නොදී එය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු විධි විධාන ද සකස් කිරීමට කටයුතු යෙදීම තුළ අතිගරු මහින්ද රාජපක්ෂ පාලන යුගය තුළ පිරිවෙන් ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ පිරිවෙන් ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී අවුරුදු දෙදහසකටත් වඩා පැරණි වූ පන්සල ප්‍රධාන කොටගත් බෞද්ධ ඉගැන්වීම් ක්‍රමයක් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වී පැවති බව ඉතිහාසයේ සඳහන් වේ.

මහා විහාරය තුළම කාල ප්‍රසාද, සුණහාත , දීඝජංකමහ, ඵලග්ග, මරුගණ, දීඝසන්ධ, සේනාපති ආදී පිරිවෙන් පැවති බවට මහාවංශයෙන් අපට සාක්ෂි හමුවේ. එසේම කෝට්ටේ රාජධානි සමය තුළ ද පිරිවෙන් අධ්‍යාපනය ඉතා ප්‍රශස්ත තත්ත්වයෙන් පැවතී තිබේ. තොටගමුව විජයබා පිරිවෙන හා කෑරගල පද්මාවතී පිරිවෙන එකළ ශ්‍රී ලංකාවේ පැවති බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් වැනි ඉහළ තත්ත්වයකින් යුතුව පැවැතුණි. පිරිවෙන් ආරම්භයේ සිටම උගත්, ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේලාගේ පාලනය හා ප්‍රභූත්වය යටතේ විහාරස්ථාන භූමියේම අධ්‍යාපන මධ්‍යස්ථානය පැවතීම හේතු කොට, එය දැඩි ආගමික විනය පිළිබඳ වාතාවරණයකින් මෙන්ම ජාතික හා දේශීය වාත්සල්‍යය පිළිබඳ පදනමකින් ද පෝෂිතව තිබුණි.

පිරිවෙන් අධ්‍යාපනයේ විශ්වාසනීයත්වය හා විශේෂත්වය හේතුකොට පසුකලෙක රාජ්‍ය අනුග්‍රහයෙන් හා රටපුරා විසිරි සිටි ප්‍රභූන්ගේ අනුග්‍රහයද ලැබීමෙන් රටේ සෑම ප්‍රදේශයකම පිරිවෙන් බිහිවීම බෞද්ධ අධ්‍යාපනයේ අභිවෘද්ධියට හේතු විය. රටපුරා පිරිවෙන් ව්‍යාප්තවීම තුළින් පිරිවෙන් අධ්‍යාපනය වඩා දියුණු තත්ත්වයට පත්විය. වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන, තොටගමුවේ විජයබාහු පිරිවෙන හා පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් එලෙස ආරම්භ කළ උසස් පිරිවෙන් අතරින් කිහිපයකි. එසේම මෙම පිරිවෙන් තුළ ඒ යුගය වන විට විදේශ ශිෂ්‍යයන් පවා අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත්ව තිබීම එදා ශ්‍රී ලංකාවේ පැවති උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ සාක්ෂි සපයයි.

සිල්වත් සමාගම නමින් සමාගමක් පිහිටුවන ඒ තුළින් භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක දැනුම නැවත නගාසිටුවීමට අපමණ දුෂ්කරතා මධ්‍යයේ උන්වහන්සේ කටයුතු කළහ. ඒ හරහා නැවත ධර්මාලෝකය හා ශාස්ත්‍රාලෝකය රටපුරා ව්‍යාප්තවීමේ ඇරඹුම සිදුවිණි. සංඝරාජ මාහිමිපාණන් සෙවණේ මහා වනස්පතීන් ලෙස හැදී වැඩුණු ගිහි-පැවිදි උගත් පඩිවරු රැසක් බිහි වූ අතර කොරතොට ධම්මාරාම, වේහැල්ලේ ධම්මදින්න යන හිමිවරු පිරිවෙන් ඉතිහාසය තුළ සදානුස්මරණීය වේ.

පූජ්‍ය වළානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 1839 දී රත්මලාන පරමධම්මවේතිය පිරිවෙන ආරම්භ කිරීමත් එම භූමිය ඇසුරේම පෝෂණය වූ ජාතික පුනරුදයක් හේතු කොට ගනිමින් වර්ෂ 1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ විද්‍යෝදය පිරිවෙනත් වර්ෂ 1875 දී රත්මලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙනත් හේතුකොට ගනිමින් නැවතත් පිරිවෙන් අධ්‍යාපනය පෙර පැවති ගෞරවනීය තත්ත්වයට පත්විය. අදටත් එම පිරිවෙන් තුළින් ශාස්ත්‍රඥානය ලද ගිහි-පැවිදි උගත්හු තම ආදී කර්තෘ නායක ස්වාමීන් වහන්සේලා ගමන් ගත් මඟ අනුගමනය කරමින් අප රටට ඉමහත් ගෞරවයක් ලබා දෙන ආකාරයෙන් දෙස් විදෙස්හි වැඩ වාසය කරමින් කටයුතු කරනා ආකාරය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

විශේෂයෙන් විද්‍යෝදය හා විද්‍යාලංකාර ආයතන දෙක ප්‍රාචීන භාෂා මධ්‍යස්ථාන වශයෙන් ලබාගත් සාර්ථකත්වය මතින් නැවත රට පුරා පිරිවෙන් බිහිවීමේ හා පිරිවෙන් අධ්‍යාපනයේ නූතන යුග පෙරළියේ ආරම්භය සනිටුහන්විය. වර්ෂ 1902 දී එවකට රජයේ අධ්‍යාපන අධ්‍යක්ෂධුරය දැරූ එස්. එම්. බරෝස් මැතිතුමා පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ දැක්වූ සුවිශේෂී උනන්දුව හේතු කොට එතුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1902 දී පිහිට වූ ප්‍රාචීන භාෂෝපකාර සමිතියද පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුව උදෙසා සුවිශාල දායකත්වයක් ලබා දුන් අතර ඒ තුළින් ශ්‍රේෂ්ඨ ප්‍රාචීන භාෂා පඩිවරුන් රැසක් බිහිවූහ.

වර්ෂ 2006 පෙබරවාරි මස 18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙතෙක් පැවති පිරිවෙන් ආධාර දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගෙන තිබීම, විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන්වලට ගෙවනු ලබන ආධාර එක් ආයතනයකට ලක්ෂ පනහ බැගින් වාර්ෂික ප්‍රතිපාදන වෙන්කිරීම හා වාර්ෂිකව රුපියල් මිලියන පහක් ලබා දී පිරිවෙන් පුස්තකාල සඳහා පොත්පත් ලබාදීමට කටයුතු කිරීම අතිශය කාලෝචිත වේ.

2014 අයවැය යෝජනා අනුව පරිවේණාචාර්යවරුන් සඳහා රාජ්‍ය සේවකයන් විසින් භුක්තිවිඳිනු ලබන අග්‍රහාර රක්ෂණය දේපළ ණය, ආපදා ණය, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර, උත්සව පූර්ව දීමනා ඇතුළු සියලු දීමනා හා පහසුකම් පිරිවෙන් ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදීම ද සතුටට හේතුවන කරුණු අතර වේ. පිරිවෙන් විෂය නිර්දේශය කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සංශෝධනය කිරීමට කටයුතු කිරීම මෙන්ම පිරිවෙන් අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරුවලට හා පිරිවෙන් අධ්‍යාපන දිස්ත්‍රික් සම්බන්ධීකරණ තනතුරුවලට නිලධාරින් බඳවා ගැනීමට කටයුතු සලසා තිබේ.

නව ලොවට ගැළපෙන පරිදි ජාත්‍යන්තර භාෂා දැනුම මෙන්ම පාලි, ත්‍රිපිටක ධර්මය, සිංහල, ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය වෙනුවෙන් පිරිවෙන් භාෂා දින වැඩසටහන් පැවැත්වීම, ආයතනික මට්ටමින් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරඟ පැවැත්වීම මෙන්ම ඉගෙනුම් දක්ෂතා දක්වන ශිෂ්‍ය හිමිවරුන් සඳහා ත්‍යාග සහතිකපත් මෙන්ම විදේශ සංචාර අවස්ථා ලබාදීම්, පිරිවෙන්හි සේවය කරන පරිවේණාධිපතිවරුන් හා පරිවේණානාචාර්යවරුන්ගේ දැනුම,ආකල්ප හා කුසලතා ඔප්නංවාලීමේ අරමුණින් පිරිවෙන් ගුරු ප්‍රතිහා වැඩසටහන ක්‍රියාත්මක කිරීම, පිරිවෙන් ගුරු උපදේශකවරුන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විදේශ සංචාර, දෙමළ භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ආදී ක්‍රියාකාරකම් හා ව්‍යාපෘතින් තුළින් පිරිවෙන් ක්ෂේත්‍රය සමන්විත කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රට පුරා ක්‍රියාත්මක වේ.

දේශීයත්වය මත ගොඩනැගුණු සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කරමින් රුවන්වැලි සෑ රඳුන්, අභයගිරි සෑ රඳුන් වැනි මහා වෙහෙර විහාර කර්මාන්ත, කලාවැව, තිසා වැව , මහකනදරා වැව වැනි මහා වාපි කර්මාන්ත තුළින් විරාජමානවන අතීත ශ්‍රී ලාංකේය උරුමයන් සුරකිමින් නාවික, ගුවන්, බලශක්ති , වානිජ හා සංචාරක කේන්ද්‍රස්ථාන බවට අනාගත ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ දැවැන්තයා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙයි.

දේශ හිතෛෂී, ජාති හිතෛෂී ජීවගුණයෙන් පිරිපුන් එතුමා සැම විටම මාතෘභූමිය වෙනුවෙන් නොපිරිහෙළා සිය යුතුකම් ඉටු කළ එඩිතර විලාසය, රටේ නායකත්වය පිළිබඳ සදාතනික විශ්වාසයක් ජනහදවත් තුළ රන්අකුරෙන් සනිටුහන් කිරීම, වර්ෂ 2009 මැයි මස රැඳුරු ත්‍රස්ත උවදුරින් රට සම්පූර්ණයෙන්ම මුදා ගැනීම තුළින් සිදුවිය. ස්වාධීන, නිදහස් ඒකීය රටක් වශයෙන් එකම නායකයෙකු යට‍තේ නැගී සිටීමට චිරාත් කාලයකට පසු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව හිමි විය. එම වාසනාව රට වැසියන් ලෙස අද අපට නිදහස හා සතුට කැටිකොට වින්දනය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිසාවෙනි. එම උදාරතර අරමුණ විජයග්‍රහණය කිරීම උදෙසා අපගේ කෘතවේදීත්වය එතුමන්හට සැමදා හිමි වේ.

ජනබලයෙන් පොහොසත් එතුමන් විසින් ජනතා සුබසෙත උදෙසා ලබා දුන් ජයග්‍රහණ හා සවිබල ගැන්වීම් තුළ එතුමා දැක්වූ සාර්ථකත්වයේ රහස “ එතුමා ජනතා හද ගැහෙන රාවය නිවැරදිව හඳුනාගත් සංවේදී ජනනායකයෙකු වීම” වේ. අතීත දේශපාලන පරාජයන් හා ජයග්‍රණයන් හමුවේ ඉවසිලිමත්ව, දූරදර්ශීව, සංයමයකින් යුතුව පැමිණි දීර්ඝ දේශපාලන චාරිකාවේ අත්දැකීම් තුළින් හිමි වූ බුද්ධිය, දැනුවත්වීම හා නුවණ තුළින් පියවරෙන් පියවර සාර්ථකත්වය කරා ළගාවීමටත්, එම සාර්ථකත්වය හා ජයග්‍රහණයන් තමන් වෙත රඳවා තබා ගැනීමටත් සමත්වීම එතුමාගේ චරිතයේ කැපී පෙනෙන දක්ෂතාවයකි. එමෙන්ම කුසලතාවයකි.

එම සියලු දක්ෂතාවයන් සඳහා එතුමාට අවැසි ශක්තිය හා ධෛර්යය මෙන්ම මඟපෙන්වීමත් ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රීමතාණන් හා දන්දිනා සමරසිංහ මැතිනිය ප්‍රධාන කොට සිටි ඥාතිවර්ගයාගෙන් ලද ගාමක බලයත් හේතු වූවාට සැක නැත. සෙවණැළි සේ අතනොහැර ළඟ රැදෙන ළබැදි ඥාති සමූහය හා ශක්තිමත් සහෝදර බැඳීම්ද කවදත් එතුමන්ට ශක්තියකි, භාග්‍යයකි. පරාජයන් හමුවේ නොසැළීමටත්, අභියෝග, බාධා මැඩ ඉදිරියට යාමටත්, ජයග්‍රහණයන් හමුවේ නිහතමානී වීමටත් එතුමන්ට ශ්‍රේෂ්ඨ පිය උරුමයෙන් ලද ආභාෂය හේතුවූවා නිසැකය.

මාතෘ භූමියට තවත් චිරාත් කාලයක් යුතුකම් ඉටුකරමින් සමෘද්ධිමත් අනාගත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ෂාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ලැබේවා!යි සියලු සම්පත් දුෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය හා ආරක්ෂාව බෞද්ධ පුනර්ජීවනයේ නියමුවාණන්හට ලැබේවා!යි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා