බක පණ්ඩිතයන්ට නවකතා ලියන්න බෑ!

බක පණ්ඩිතයන්ට නවකතා ලියන්න බෑ!

 සේන තෝරදෙණිය මහතාගේ අලුත් ම නවකතාව “බණ්ඩර මැරූ උන්” ලෙසින් නම් කර තිබේ. මේ කතාව ආරම්භ වන්නේ ගිරිදේව නම් චිත්‍ර ශිල්පියාගේ හදිසි මරණය සම්බන්ධ‍ෙයන් පවත්වනු ලබන මරණ පරීක්ෂණය පාඨකයා හමුවේ තබමින් ය. ඔහු දිවිනසා ගත්තේ ද? දියේ ගිලී මිය ගියා ද? කිසිවකු විසින් ඝාතනය කරන ලදු ව; දියට දැම්මේ ද? යන ප්‍රශ්නාවලියක් පාඨකයා හමුවේ දිග හැරෙයි. චිත්‍ර ශිල්පියාට තරහකාරයන් නැත. ඔහු දිවි නසාගත්තේ නම්; ඊට හේතුව කුමක් ද?

චිත්‍ර ශිල්පියා මීට පෙර වතාවක් ද දියේ ගිලී කිසිවකු විසින් බේරාගෙන තිබේ. දෙවන වරටද නාවික භටයකු විසින් ඔහු ගොඩට ගනු ලැබේ. එහෙත් පලක් නැත. රෝහලට ගෙන යන විටත් ඔහු මිය ගොස් ය. චිත්‍ර ශිල්පියා නවකතාකරුවෙක් ද වේ. ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ද ලැබී තිබේ. මේ මරණය පසුපස හඹා යන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔස්සේ වරෙක කතාව විකාශය වේ. තව වරෙක කතුවරයා ම ඉදිරිපත් වී කතාව ඉදිරියට ගෙන යයි. එහෙත් කිසිවක නිමාවක් නැත. චිත්‍ර ශිල්පියාගේ මරණය ද අභිරහසක් ලෙස ම පවතී.

ගිරිදේවගේ පෞද්ගලික ජීවිතය දෙස ආපසු හැරී බලන විට ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි සිතේ.

(I) ප්‍රේමය

(II) ලිංගිකත්වය

(III) පවුල් සංස්ථාව

(IV) හුදෙකලාව

ගිරිදේව යනු ප්‍රේමය හමුවේ අමුතු හැසිරීම් ඇති තැනැත්තෙකි. ඔහු මේ විෂයය ඉදිරියේ සාමාන්‍ය පිරිමියකු සේ හැසිරෙන්නේ නැත. මෞලිමාලා හා ගිරිදේව අතර ගොඩනැ‍ඟෙන අයථා සම්බන්ධයේ දී ඒ බව මොනවට පැහැදිලි වේ. ගිරිදේව මෞලිමාලාට සැබෑවට ම ප්‍රේම කරයි. එහෙත් ඒ ප්‍රේමය නිසි ලෙස ප්‍රකාශ වන්නේ නැත. ගිරිදේව පාරම්පරික උඩරට සිරිත් - විරිත්වලට නතුව සිය මවගේ අක්කාගේ, නැන්දාගේ වැනි ඥාති චරිතවල චින්තනයෙන් ගැහැනුන් දෙස බලයි. ඒ නිසාම නොයෙක් ගැටුම් මතු වෙයි. එක අතෙකින් ගිරිදේව යනු සංකීර්ණ චරිතයකි.

කතුවරයා මේ සංකීර්ණත්වය ඔස්සේ තවදුරටත් ගමන් කළේ නම්; කලාකරුවකුගේ ජීවිතය පිළිබඳ අලුත් හැදෑරීමක් කිරීමේ අවස්ථාව පාඨකයාට උදා වෙයි. එහෙත් කතුවරයා කරන්නේ ගිරිදේව නිරූපණය වෙනුවට දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම ය. අනවශ්‍ය විස්තර කිරීම්, දේශපාලන විවේචන කලා විචාර, උපදේශන, කවි හා කර්තෘගේ මනෝ විකාරවලින් මේ පොත් ගෙඩිය පිරී තිබේ. “බණ්ඩර මැරූ උන්” පිටු පන්සිය ගණනක් විශාල පොතක් වුව එහි ගිරිදේවට වෙන් වී ඇත්තේ සුළු ඉඩ ප්‍රමාණයකි.

ගිරිදේව හා ඇලීතියා අතර ගොඩනැ‍ඟෙන ප්‍රේමය ඉතා ඉක්මනින්ම මකා දැමීමට ‍තෝරදෙණිය උත්සාහ කරන්නේ මන්දැ’යි ප්‍රශ්නයකි. ඒ ගිරිදේවගේ හොඳම වයස වේ. ඔහු ඇලීතියා හඳුන්වන්නේ කළු දියමන්තිය ලෙස ය. ගිරිදේව ගේ චරිතය විකාශය කිරීම සඳහා මේ සිද්ධිදාමය යොදාගැනීමට ඉඩ තිබිණි. ඇලීතියා දෙමළ කතෝලික ය. ගිරිදේව සිංහල බෞද්ධය .මේ ප්‍රේමය අත්හරින කතුවරයා ඒ වෙනුවට ජාතිවාදය ගැන කියයි. අන්තිමේ ඇලීතියා රට යවයි.

“ඉන්දියානු සාගරය ද, රතු මුහුද ද, මධ්‍යධරණී මුහුද ද, අත්ලන්තික් සාගරය ද පසු කොට ඇය ගියා ය.”

(පිටුව - 134)

සේන තෝරදෙණිය

ලිංගිකත්වය හමුවේ ගිරිදේව වරෙක බෙහෙවින් කුහක ය. ආත්මාර්ථකාමී ය. ඇතැම්විට විකෘති අදහස් ද තිබේ. ඔහුගේ බිරිය වූ තේනී සමඟ ගොඩනඟන ලිංගික සම්බන්ධතා හා පසුව මහලු වයසේ දී මෞලිමාලා සමඟ ගොඩනඟන ලිංගික සම්බන්ධතා ආශ්‍රයෙන් ද ඒ බව වටහාගත හැකි ය. තේනී සමඟ පළමු රාත්‍රිය ගත කරන ගිරිදේව අන්තිම සාහසික මෝඩයකුගේ තත්ත්වයට පත් වේ. එහෙත් මේ තත්ත්වයන් ප්‍රසාරණය කොට ගිරිදේව වටහාගැනීමට කතුවරයා කිසිදු උත්සාහයක් ගන්නේ නැත. ඒ වෙනුවට ඔහු ගමේ විස්තරවලින් ද, අනම් - මනම් කතාවලින් ද එක් පරිච්ඡේදයක් වසා දමයි.

“ගමේ මඟුල් හා මරණවල දී තොරන් බඳිනවිට විශේෂයෙන්ම අවමංගල උත්සවවලදී තොරන් බඳින විට - ගමේ කවුරුත් වාගේ ගොක් කොළයක් එල්ලීමට ගිය හ. සමහරවිට රාත්‍රිය පුරා තොරන් අලංකරණය කිරීම සඳහා ගොක්කොළවලින් කන්වැල් හා මකුළුවන් ගෙතීම සිදු වේ.”

(පිටුව - 268)

ප්‍රතිභාසම්පන්න කලාකරුවන්ගේ පරිකල්පනයත් සමඟ ඔවුන් කරා හඹා එන මානසික රෝග රැසක් තිබේ. ඉන් එකක් වන්නේ දිවි නසාගැනීමට දක්වන කැමැත්තයි. සාහිත්‍ය - කලා ක්ෂේත්‍රවලට සම්බන්ධ ලෝක ප්‍රකට නිර්මාණශීලීහු රැසක් දිවි නසාගෙන ඇත්තෝ ය. අර්නස්ට් හෙමිං වේ එබඳු එක් නවකතාකරුවෙකි. කලාකරුවා හා මානසික රෝග අතර පවත්නා සම්බන්ධය ගැන දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණයක නිරත මහාචාරිනී නැන්සි ඇන්ඩ්‍රියාසෙන් පරිකල්පනය හා මානසික රෝග අතර පවත්නා සහසම්බන්ධය විග්‍රහ කිරීමට ප්‍රයත්න දරයි. කලාකරුවා සතු අධි - සංවේදීභාවය ගැන මෙන් ම හුදෙකලා භාවය ගැන ද නැන්සි කරුණු දක්වයි.

ගිරිදේව හුදෙකලා බවින් වේදනා විඳින බවක් පෙනෙයි. එලෙස ම ඔහු හැමවිට ම පාහේ අසීමාන්තික ආදරයක් අපේක්ෂා කරයි. එය ඉහ - වහා ගිය ආත්මාර්ථයක් සේ ද සැලැකිය හැකි ය. එහෙත් කතුවරයා ප්‍රධාන චරිතයෙන් මතුවන මේ මානසික ඝට්ටනය අත හරී. ඒ වෙනුවට දේශපාලන සිදුවීම්වලින් කතාව පුරවයි.

“බණ්ඩර මැරූ උන්” කතාවේ එන රතු මහත්තයා, ඔහුගේ දේශපාලනය, ජේ.ආර්. ජයවර්ධන සමය, මහාචාර්ය වටපානගේ විදේශීය සේවාව, පර්යේෂණ ක්‍රියාවලිය, ඔහු ගේ පවුල් ජීවිතය ගිරිදේවගේ කතාවට ඈඳාගත්තේ කුමකටදැ’යි නොවැට‍ෙහ්. කතුවරයා දේශපාලන විචාරය කෙරෙහි දක්වන උනන්දුව පමණක් ඒවායින් ප්‍රකට වේ. මේ අනවශ්‍ය වැල්වටාරම් නිසා ගිරිදේවගේ සංකීර්ණ චරිතය හඳුනාගැනීම උගහට වේ. කතා - වස්තුවේ විකාශය හා රිද්මය අවුල් වේ. එලෙස ම නවකතාව අනවශ්‍ය ලෙස දීර්ඝ වී තිබේ. කතුවරයා ඇතැම් තැනෙක දී කලා විචාර ඉදිරිපත් කරනුයේ තම පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා ය.

“නවකතා දළ ඇතුන් කිහිප දෙනකු පොරපිටියට බැස පාදයෙන්, සොඬින් හා දළෙන් ඇන වේ තුඹස් බිඳ හෙළද්දී නාමගෝත්‍රයෙන් අඥානවූ කැලෑ අසෙකුට සම්මාන දීම යෙහෙකැ’යි සිතන්නට ඇත. ඉන් ගිරිදේව නමැති චිත්‍ර ශිල්පියා සාහිත්‍ය ලෝකය විසින් දැන ගන්නට ඇත. පුවත්පත් එම සිද්ධිය ඡායාරූප සහිතව වාර්තා කළා මිස ග්‍රන්ථය ගැන හෝ කතුවරයා ගැන හෝ ලිපි පළ කළේ නැත. ඔහු සොයාගෙන සම්මුඛ සාකච්ඡා කරුවෝ නො පැමිණිය හ. දුරකථනයෙන් හෝ සම්මුඛ සාකච්ඡා ඉල්ලා සිටි අය නොවූහ.”

(පිටුව - 403)

සේන තෝරදෙණිය නම් අප ලේඛකයා තථ්‍ය සාහිත්‍ය ලෝකයේ දී බොහෝ ආරවුල් හා ගැටුම් ඇති කරගන්නා තැනැත්තෙකි. ඔහු අන් මත ඉවසන්නේ නැත. තමන් රිසි නො වූ අයට පහර - පිට පහර ගැසීම ඔහු ගේ සිරිත ය. ඔහුගේ විචාර තුළ යුක්තිසහගත විවේචනයකට වඩා පෞද්ගලික පහරදීම් බහුල ය. පුදුමයකට මෙන් ඔහුගේ නිර්මාණ කෘති තුළ ද මේ දුර්ගුණය දකින්නට ලැබේ. ඔහු තෝරාගෙන ඇත්තේ අපූරු කතා - වස්තුවකි. ඒ කතා - වස්තුව සුන්දර ලෙස නිරූපණය කරනු වෙනුවට විවේචනවලින් නවකතාව පුරවා තිබීම බලවත් අවාසනාවකි. මේ හේතුව නිසා ම ප්‍රබන්ධය කෙරෙහි ආකර්ෂණයක් ඇති නො වේ. පොත කියැවීම ද ආයාසකර ය. නීරස ය.

නවකතාවක් මූලික වශයෙන් කියැවීමේ ගුණයෙන් යුතු විය යුතු ය. ඉන් පාඨකයාට නැවුම් අස්වාදයක් ලබාදිය යුතු ය. සමාජ යථාර්ථය හෙළිදරව් කිරීම, දේශපාලන විග්‍රහ ඉදිරිපත් කිරීම දෙවන කාරණා බවට පත් වේ. බොහෝ නවකතාකරුවෝ අනවශ්‍ය බර තැබීම් ඔස්සේ නවකතාව සංකීර්ණ කිරීමට වෑයම් කරති. එයින් සිදුවන්නේ නවකතාවත් විනාශ වී කතුවරයාත් විනාශ වීම ය. නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් හෙමිං වේගේ කෘති තුළ ද දේශපාලනයක් තිබේ. එහෙත් එය මතුවන්නේ කතාවට හානියක් නො වන ලෙස ය. සේන තෝරදෙණිය වැනි අයගේ මූලික ඉලක්කය විවේචනය යි. නැතහොත් පහරදීම යි. කතාව ඔවුන් දෙවන තැනට දමා තිබේ.

චිත්‍ර ශිල්පියකු ප්‍රධාන චරිතය ලෙස ගෙන ඉංග්‍රීසියෙන් ලියැවුණු මෑතකාලීන අමෙරිකන් කතාවක් අප සිහියට නැ‍ඟේ. කතාව “ද පෙයින්ටර්” නම් වේ. කර්තෘ පීටර් හෙලර් ය. එහි ප්‍රධාන චරිතය රළු ගති ඇති දඩයක්කාරයෙකි. ඔහු තමාගේ ප්‍රචණ්ඩත්වය මකා ගනු වස්; චිත්‍ර අඳින්නට පටන් ගනී. පසුව එය ඇබ්බැහියක් බවට පත් වේ. මේ කතාවෙන් කියැවෙන්නේ මිනිසා තමාගේ ම සහජ ක්‍රියා කාරකම් හා හැඟීම්වලට එරෙහිව ක්‍රියා කරන ආකාරය ගැන ය. මේ කෘතිය සරල ය. එහෙත් ඒ යටින් දිවෙන මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු දහම පාඨකයා විස්මයට පත් කරවන සුලු ය. එහි කතාවට අදාළ නොවන එක වචනයක්වත් නැත.

මෙබඳු සුන්දර හා සරල නවකතා ලියන සම්ප්‍රදායයක් සිංහල සාහිත්‍යය තුළ නැත. ඒ වෙනුවට ඇත්තේ බරසාර නවකතා රචනා කිරීමට දරන මහා ප්‍රයත්නයකි. අනෙක් අතින් සරල - සුන්දර නවකතා වෙනුවට ඉතා බොළඳ පැණි කතා ලියන සම්ප්‍රදායයක් ද අපට තිබේ. මේ සම්ප්‍රදායයන් දෙක ම බැහැර කළ යුතු ය. කියැවීමේ රුචිය වඩන යථාර්ථවාදී නවකතා සම්ප්‍රදායයක් අපට අවශ්‍ය වේ. සිංහල නවකතාව පාඨකයන් අතර ප්‍රචලිත කළ හැක්කේ ඒ මාර්ගයෙන් යැයි සිතේ.

සේන තෝරදෙණිය මහතාගේ භාෂාව ගැන ද යමක් කිව යුතු ය. ඔහු අපේ සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයෙන් යම් ආභාසයන් ලබන බව සැබෑ ය. එහෙත් ඔහුට ඇත්තේ රළු හා ගොරහැඬි භාෂාවකි. එය සුන්දර නැත. භාවපූර්ණ නැත. නවකතාවට වඩා විචාරයට ගැළපෙන භාෂාවක් ඔහු ළඟ තිබේ. අවසන් ලෙස මගේ සමීප ගුරුවරයකු වූ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න මහතා මියෙන්නට පෙර මට කියූ කතාවක් සිහියට නැ‍ඟේ.” “බක පණ්ඩිතයන්ට නවකතා ලියන්න බෑ!” ඔහු සිනාසෙමින් එසේ කියා සිටියේ ය. එදා මම එය ඒ හැටි ගණන් නො ගත්තෙමි. එහෙත් “බණ්ඩර මැරූ උන්” කියැ වූ සැණෙන් මා සිහියට නැ‍ඟුණේ අපේ ගුරුතුමා හරි බව ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා