ශ්‍රී ලංකාව තවමත් අංක එකේ

ශ්‍රී ලංකාව තවමත් අංක එකේ

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගමාලාව පරාජය වූවද අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකිවීම කණ්ඩායමට ඉතාමත් සතුටක් බව තරගයේ වීරයා තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

දෙපිල අතර පෙරේදා හම්බන්තොටදී පැවැති තෙවැනි හා අවසාන විස්සයි20 තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 51කින් නොදැවී ලබා ගත් ලකුණු 74 මත ශ්‍රී ලංකාව කඩුලු හයකින් දකුණු අප්‍රිකාව පරදවමින් විස්සයි20 ජගත් ශ්‍රේණිගත ලැයිස්තුවේ තමන් හිමිකර ගෙන සිටින අංක 1 ස්ථානය රැක ගැනීමට සමත් විය.

තරගමාලාවේ 0–2කින් පිටුපසින් සිට පෙරේදා තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේ කඩුලු 3 ට ලකුණු 163ක අභියෝගාත්මක ඉලක්කය ධෛර්යසම්පන්නව හඹා යමින් තරගය ජය ගත්තේ තවත් පන්දු 11ක් ඉතිරිව තිබියදීය.

පෙරේදා ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මක එකක් විය. මේ තරගමාලාවේදී ශ්‍රී ලංකාව 3–0ක පරාජයක් ලැබුවා නම් ඔවුන් පාකිස්තානය හා දකුණු අප්‍රිකාවට පිටුපසින් ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ට ලිස්සා යාමට ඉඩ තිබිණි.

19 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මෝන් මෝකල්ට එරෙහිව තම දෙවැනි හයේ පහර එල්ල කරමින් ඩිල්ෂාන් ත්‍රාසයෙන් පිරුණු ජයග්‍රහණයක් වාර්තා කළේය. ඔහු හතරේ පහර 9ක්ද එල්ල කළේය. හිටපු නායක මහේල ජයවර්ධන වේගවත් ලකුණු 33ක ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු සහ ඩිල්ෂාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 35කින් ලකුණු 67ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ.

සත්කාරක ශ්‍රී ලංකාව 16 වැනි ඕවරයේදී ලකුණු 123කට කඩුලු 4ක් දැවී සිටියදී තිසර පෙරේරා (නොදැවී 25) හා ඩිල්ෂාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක ජයග්‍රාහී සබඳතාවක් ගොඩනැගූහ.

අවසන් පන්දු 18න් ලකුණු 27ක් අවශ්‍යව තිබියදී ආක්‍රමණශීලී පිතිකරු තිසර පෙරේරා, වේන් පානල් යැවූ 18 වැනි ඕවරයේදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 21ක් ලබා ගත්තේ කණ්ඩායමට එල්ල වී තිබූ පීඩනය සැහැල්ලු කරමිණි.

“එය හඹා යාමට පහසු ඉලක්කයක් නොවේ. නමුත් මහේලත් එක්ක මා ලබා ගත් ආරම්භය උපකාරයක් වුණා” ඩිල්ෂාන් ප්‍රකාශ කළේය.

“ඊට පස්සේ, අපට ප්‍රතිවාදී මුළු ලකුණු සංඛ්‍යාව පසුකළ හැකි බව මා දැන ගත්තා. හදිසි නොවී සිටීම ඉතා වැදගත් කාරණයක් වුණා. නමුත් තිසර වැඩේ ලේසි කළා. අපි තරගමාලාවෙන් පරාජය වුනා වෙන්න පුළුවනි. නමුත් මේ තරගය ජය ගන්නට ලැබීම සතුටකි” යනුවෙන් ඩිල්ෂාන් කියා සිටියේය.

ලබන වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට සිටින අවස්ථාවක ලබා ගත් මේ තරගමාලා ජය තම කණ්ඩායමට ලොකු ශක්තියක් බව දකුණු අප්‍රිකා විස්සයි20 නායක ෆෆ් ඩු ප්ලෙසිස් පවසා සිටියේය.

“ගුවන්යානයෙන් ආපසු අපේ රටට ගෙන යන මේ කුසලානය අපට ලොකු එකක්” ප්ලෙසිස් කීවේය.

“ලොව සිටින හොඳම කණ්ඩායමට එරෙහිව තරගමාලාව ජය ගන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. මා හිතුවේ ලකුණු 163ක් ඇති කියලයි. ඩිල්ෂාන්ට ගෞරවය හිමිවිය යුතුයි.”

“මේ තරගමාලාව අපේ ක්‍රීඩකයන්ට ලොකු අත්දැකීමකි. මොකද, බංග්ලාදේශයේ දේශගුණික තත්ත්වයන් මෙහෙට වඩා එතරම් වෙනසක් නැති නිසායි” ප්ලෙසිස් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා