පාසල් පාපන්දු සංගමයට නව නිවහනක්

පාසල් පාපන්දු සංගමයට නව නිවහනක්

ලෝක පාපන්දු සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය සංවර්ධන නිළධාරී සාජී ප්‍රභාකරන් හා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පාසල් පාපන්දු කාර්යාලය
විවෘත කළ අයුරු.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිවහනට පාසල් පාපන්දු සංගමය ඊයේ සුබ මොහොතින් පිවිසුණි. පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ අදහසකට අනුව පාපන්දු මූලස්ථානයේම පාසල් පාපන්දු සංගමයට කාර්යාලයක් ලබාදුන් අතර ලෝක පාපන්දු සම්මේලනයේ දකුණු ආසියානු කළාපීය සංවර්ධන නිළධාරී සාජී ප්‍රභාකරන් මහතා එය විවෘත කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවැසූවේ පාසැල් පාපන්දු නඟා සිටුවීම සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදීම පාපන්දු විධායක සභාවේ එකම අදහස බවයි.

“දැනට වඩා පාසල් පාපන්දු දියුණු විය යුතු බව මා විශ්වාස කරනවා. රටේ පාපන්දු නඟා සිටුවීමට පාසල් කාලයේ ක්‍රීඩකයන් ක්‍රීඩාවට යොමු වීම ඉතාම වැදගත්.

ඉදිරියේදී රට පුරා පාසල් පාපන්දු දියුණු කිරීමට කටයුතු කරනවා.

එහි පළමු පියවර ලෙස කාර්යාලයක් දිය යුතු බව කල්පනා කළා" රුද්‍රිගු මහතා පැවැසීය. පාසල් පාපන්දු කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පාපන්දු ලේකම් උපාලි හේවගේ, පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ.ජී.ජී.ඩී.ආරියරත්න හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා