පාසල් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධියට ලීග් තරගාවලිය නව මුහුණුවරකින්

පාසල් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධියට ලීග් තරගාවලිය නව මුහුණුවරකින්

අවුරුදු 20න් පහළ පාසල් ලීග් රගර් තරගාවලිය ලබන වසරේ සිට නව මුහුණුවරකින් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය ගෙන ඇති තීරණය රගර් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රසාදයට ලක්වී ති‍බේ. නව ක්‍රමවේදය පාසල් රගර් ක්‍රීඩාවේ උන්නතියට ප්‍රබල සාධකයන් වනු ඇතැයි ඔවූහූ පවසති.

නව මුහුණුවර අනුව පළමු කොටසේ දැනට තරග වදින කණ්ඩායම් 30ට අමතරව දෙවැනි කොටසේ පළමු කාණ්ඩයේ ශූරයන් හා අනුශූරයන් ඇතුළත් කොට කණ්ඩායම් 16බැගින් කොටස් දෙකකට බෙදා තරග පැවැත්වීමට නියමිතය. අදාල කොටස් 2ට ඇතුළත් කණ්ඩායම් නැවත 4බැගින් වෙන වෙනම කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ දී තරග 3කට සහභාගි වෙති. අනතුරුව සෑම කාණ්ඩයකම ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8ක් තෝරා සුපිරි වටයට යොමු කෙරේ.

සුපිරි වටයේ දී එක් කණ්ඩායමකට තරග 7ක් හිමිවෙයි. එමෙන්ම සෑම කාණ්ඩයකම දෙවැනි, තුන්වැනි හා සිවුවැනි තැන ලබන කණ්ඩායම් අතරත් සුපිරි වටයේ තරග පවත්වා පිළිවෙලින් පළඟ, බඳුන හා පළිහ ශූරතා සඳහා ශූරයන් හා අනුශූරයන් තෝරා ගැනේ.

දැනට පවතින ක්‍රමය යටතේ පළමු, දෙවැනි හා තෙවැනි කොටසෙන් තරග වදින කණ්ඩායම් අතරින් අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම් ඊළඟ වස‍රේ දී පහළ ශ්‍රේණියට ඇද වැටෙයි. මේ ක්‍රමය අනුව තරගකාරී රගර් ක්‍රීඩාවේ නිරතවන බොහෝ පාසල් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට ද බලපෑමක් එල්ලවන බව රගර් ක්‍රීඩාවේ ප්‍රවීණයන් මීට පෙර ද පෙන්වා දී තිබිණි.

යෝජිත නව මුහුණුවර අනුව සෑම කණ්ඩායමකටම යම්කිසි ශූරතාවක් දිනාගැනීමේ අවස්ථාව උදාවන උදාවේ. එමගින් එහි තරගකාරිත්වය මෙන්ම උද්යෝගය ද වැඩිවනු ඇත. මෙමගින් දැනට සිදුවන වයසින් වැඩි ක්‍රීඩකයන් යොදවා ගැනීම, නීතිවිරෝධි ලෙස ක්‍රීඩාවේ නිරතවීම වැනි කටයුතු අඩුවනු ඇතැයි ද පාසල් රගර් සංගමය විශ්වාසය පළකරයි.‍

මේ වසරේ පැවැති ලීග් තරගාවලියේ දී ඉසිපතන විදුහල් පිල හා සාන්ත ජෝශප් විදුහල් පිල පළමු කාණ්ඩයේ පහළට ඇද වැටුණු අතර පැරැණි ක්‍රමය අනුව තරගාවලිය පැවත්වන්නේ නම් දෙපිලටම තරග වැදීමට සිදුවන්නේ දෙවැනි කාණ්ඩය යටතේය. එහෙත් පසුගිය වසරේ ලීග් ශූරයන් වූ ඉසිපතන විදුහල් පිලත්, ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත සාන්ත ජෝශප් විදුහල් පිලත් එසේ දෙවැනි කාණ්ඩයට තරග වැදීම පළමු කාණ්ඩයේ තරගකාරිත්වය අඩු කිරීමට බලපානු ඇතැයි රගර් ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

පසුගිය ලීග් තරගාවලියේ ශූරතාව දිනූ ධර්මරාජ විදුහල් පිල හා සාන්ත ජෝශප් විදුහල් පිල අතර පැවති තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි දී දෙපිලම කරට කර සටනක නිරතවනු දක්නට ලැබිණි. එමෙන්ම ඉසිපතන විදුහල ද සිය ප්‍රතිවාදී කණ්ඩායම් හමුවේ තියුණු සටනක නිරතවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා