ශ්‍රී ලංකාව අද ‍මොස්කව්     තරග බිමේ

ශ්‍රී ලංකාව අද ‍මොස්කව් තරග බිමේ

රුසියාවේ මොස්කව් හී ලුස්නිකි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ 14වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකිකයකු තරග වදින පළමු තරග ඉසව්ව වන මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ මූලික තරග ඉසව්ව අද (12) දහවල් 1.20ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිස්ටීන් මෙරිල් මේ තරගයට සහභාගි වේ.

මීට දෙවසරකට පෙර දකුණු කොරියාවේ ‍ඩේගු හී දී සිය පළමු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ක්‍රිස්ටීන් අද තරගයේ දී දස්කම් දක්වමින් අවසන් පූර්ව වටයට පිවිසීමට දැඩි උත්සාහක නිරත වනු ඇත.

පසුගිය වසර දෙකක කාලයේ දී කැපවීමකින් යුතුව පුහුණුවීම්වල නිරතවු බවත්, සිය වේගය හා ශක්තිය වර්ධනය කරගත් බවත් ඇය කියා සිටියාය.

මෙවර තරගවාරය ආරම්භයේ දීම තත්පර 56.45ක සිය හොඳම කාලය වාර්තා කළ 2011 වසරේ ආසියානු ශූරතාවලියේ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රිස්ටීන්ගේ අරමුණ වී ඇත්තේ එම වාර්තාව ඉක්මවා යමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් රුසියාවේ දී බිහි කිරීමය. මේ තරග ඉසව්වේ අවසන් පූර්ව තරග වටය හෙට පස්වරු ශ්‍රී ලංකා වේලාවෙන් 8.35ට පැවැත්වීමට නියමිතය. එහි අවසන් තරග ඉසව්ව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 15වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.15ටය. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ තරග ඉසව්වේ ශූරිය වන්නේ අමෙරිකාවේ ලෂින්ඩා ඩේමස්ය. ඇය ඊට හිමිකම් කී‍වේ තත්පර 52.47ක කාලයක් වාර්තා කරමින්ය.

මෙවර ශූරතාවලියේ වේගවත්ම කාන්තාව තීරණය කෙරෙන මීටර් 100 තරග ඉසව්ව පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.05ටය.

පසුගිය වසරේ ශූරිය වන අමෙරිකාවේ කාමෙලිටා ජේටර් ඇතුළු අමෙරිකානු ක්‍රීඩිකාවන් සිවුදෙනකු මීටර් 100 තරග ඉසව්වේ මූලික තරග වටයට ඊයේ පිවිසි අතර ඔලිම්පික් ද්විත්ව රන් පදක්කම් දිනූ 2009 වස‍රේ බර්ලින් හී පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ශූරිය වූ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේසර් මෙවර තරගවාරයේ දී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.77කින් නිමාකොට ඉදිරියෙන් පසුවන්නීය. එහෙත් මෙවර තරගාවලියට පෙර ඇය අවසන් වරට සහභාගිවූ තරගාවලියේ දී පරාජයට පත්වී තිබිණි. අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත අවසන් තරග ඉසව් වන්නේ පිරිමි රිටි පැනීම, කාන්තා යගුලිය දැමීම, පිරිමි මිටිය වීසිකිරීම, කාන්තා මීටර් 400 හා පිරිමි මීටර් 110 කඩුලු පැනීම තරග ඉසව්වන්ය.

පිරිමි රිටි පැනීමේ තරග ඉසව්වේ දී ලෝක ශූරතාව 6වරක් ජයගත් රුසියාවේ සර්ජි බුඩ්කා ක්‍රීඩාවෙන් සමුගෙන සිටිය ද මෙවර තරග ඉසව්ව වැඩි දෙනකුගේ අවධානයට ලක්වී තිබේ. මෙවර තරගවාරයේ දි ප්‍රංශයේ රිනෝඩ් ලැවිලින් මීටර් 5.65ක දුරක් වාර්තා කර ඇති අතර වැඩි අවධානය ඔහු කෙරෙහි ‍යොමු වී ඇත. ඔහුගේ සොයුරා වන වැලන්ටයින් මීටර් 5.55ක දුරක් වාර්තා කරමින් අද තරගයට සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි.‍

මේ අනුව වසර 30ක ලෝක ශූරතාවලි ඉතිහාසයේ රිටි පැනීමේ අවසන් ඉසව්වට එකම පවුලේ සොයුරන් දෙදෙනකු තරග වදින පළමු අවස්ථාව ලෙස අද රාත්‍රී තරග ඉසව්ව ඉතිහාසයට එක්වනු ඇත.

රටවල් 206කින් ක්‍රීඩකයන් 1106ක් සහ ක්‍රීඩිකාවන් 868ක් මෙවර ශූරතාවලියට තරග වදිති. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ පිළිගැනීමේ කතාවෙන් මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සමාරම්භය වර්ණවත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා