කඳුරට-බස්නාහිර ජය ලබති

කඳුරට-බස්නාහිර ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රිමියර් ලීග් තරගාවලිය‍ අත්හිටුවීම වෙනුවෙන් සංවිධාන කළ අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් හ‍තරේ විස්සයි20 තරගාවලියේ පළමු දිනයේ පෙරමුණ ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් බස්නාහිර ග්‍රීන්ස් හා ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කඳුරට මෙරූන්ස් කණ්ඩායම් සමත්විය.

ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා ආරම්භ වූ මේ තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් බස්නාහිර ග්‍රීන්ස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් මෙහෙයවු උතුර යෙලෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14ක ජයක් වාර්තා කළේය.

උතුරු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 139ක් රැස් කළේය. ජානක ගුණරත්න පන්දු 31කින් ලකුණු 40ක් වාර්තා කළ අතර කිත්රුවන් විතානගේ පන්දු 14කදී ලකුණු 22ක් ලබාගත්තේය.

පිළිතුරු ලෙස උතුරු පිලට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 125ක් පමණි. අශාන් ප්‍රියන්ජන ලකුණු 26ක්ද, දිනේෂ් චන්දිමාල් හා ජීවන් මෙන්ඩිස් ලකුණු 19 බැගින්ද රැස් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවු සුරංග ලක්මාල් ලකුණු 3ක් දවාගත් අතර ඉසුරු උදාන කඩුලු 2ක් බිඳ දැමුවේය.

රුහුණු රෙඩ්ස් කණ්ඩායම සමග පැවැති තරග ලකුණු 13කින් ජයගැනීමට ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කඳුරට මෙරූන්ස් කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් කඳුරට පිළ කඩුලු 8කට ලකුණු 159ක් රැස්කළ අතර රුහුණු පිලට පිළිතුරු ලෙසින් ලබාගත හැකිවුයේ ලකුණු 146ක් පමණි. කුමාර් සංගක්කාරගේ හා ලහිරු තිරිමාන්නගේ වේගවත් පිතිහරඹයන් හේතුවෙන් ඕවර 20 තුළ ලකුණු 159ක් ලබාගැනීමට හැකිවිය.

සංගක්කාර පන්දු 35කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගින් ලකුණු 49ක් රැස්කළ අතර තිරිමාන්න ලකුණු 25ක් රැස්කළේ හතරේ පහර දෙකක් හා හයේ පහරක් සමගින් පන්දු 14කිනි. පන්දු 30කට මුහුණදුන් උපුල් තරංග ලකුණු 36ක් ලබාගත්තේය. ඩිල්රුවන් පෙරේරා කඩුලු 3ක් හා සීකුගේ ප්‍රසන්න කඩුලු 2ක් බිඳ දැමුවේය.

රුහුණු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු යශෝධ ලංකා ලකුණු 36ක් හා ඇන්ජලෝ පෙරේරා ලකුණු 25ක් දිල්රුවන් පෙරේරා ලකුණු 24ක් වාර්තා කළේය. ධම්මික ප්‍රසාද් ලකුණු 21කට කඩුලු 3ක් හා නුවන් කුලසේකර කඩුලු 2ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

අවසන් මහා තරගය මේ මස 17 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබන මස ඉන්දියාවේ දී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදාවේ. කඳුරට-බස්නාහිර තරගය සහ උතුර-රුහුණ තරගය හෙට ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර 14 වැනිදා රුහුණු-බස්නාහිර, උතුර-කඳුරට තරග පැවැත්වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා