නෙට්බෝල් අපල දුරු කිරීමට ආරක්ෂාවක්

නෙට්බෝල් අපල දුරු කිරීමට ආරක්ෂාවක්

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය ක්‍රීඩාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන විශාල වැඩ පිළිවෙළකට අවධානය යොමු කරයි. නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය, පුහුණුකාරියන් හා විනිසුරුවන් පුහුණු කිරීම ඇතුලු අංශ ගණනාවකට අදාළ වැඩ සටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැරසෙයි.

කුඩා දරුවන් උදෙසා ළමා නෙට්බෝල් කඳවුරක් පැවැත්වීම හා අවුරුදු 18-23 අතර නවක නෙට්බෝල් පුහුණුකරිනියන් හා විනිශ්චයකාරියන් පුහුණු කිරීම මේ වැඩ සටහන් අතර විශේෂ තැනක් ගනී.

නෙට්බෝල් සම්මේලනයේ ඉදිරි ගමන් මග පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ශ්‍රී ලංකා හා ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය කරුණු ගණනාවක් හෙළි කළාය.

නිමාවු බෲනායි ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ශූරතාව අහිමිව ගියද ඉතා හොඳින් මැලේසියාවට හා සිංගප්පූරුවට එරෙහිව සටන් කළ බවත්, තිසාලා අල්ගම ආසියාවේ දක්ෂතම විදින්නියවු බවත් වික්ටෝරියා මහත්මිය අවධාරණය කළාය.

මේ තරගාවලියට බෲනායි බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය රුපියල් ලක්ෂ දහයෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් ඉතිරි කරගෙන පැමිණ තිබේ. එම මුදල් තරගාවලියට සහභාගීවු ක්‍රීඩිකාවන් හා නිලධාරීනියන් අතරේ බෙදා දෙන ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්මේලනයට දැනුම්දී ඇතැයි ප්‍රකාශ වුණි.

විදේශගතවන ඇතැම් ක්‍රීඩා කණ්ඩායම් බොහෝ අවස්ථාවලදී සියලු මුදල් වියදම් කළ බවට බිල් ලබාදී අමතරව තවත් මුදල් ඉල්ලා සිටින නමුත් කනිෂ්ඨ නෙට්බෝල් කළමනාකාරීණී යමුනා සඳමාලී මහත්මිය ඉදිරිපත් කළ ගිණුම් වාර්තා අනුව මුදල් ඉතිරිවී තිබීම කාගේත් පැසසුමට හේතුවී තිබේ.

නෙට්බෝල් විනිසුරුවන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයට අදාළ සම්මන්ත්‍රණයක් මේ 18 වැනිදා හා ලිඛිත විභාගය සැප්තැම්බර් 29දා පැවැත්වේ. ඔක්තෝබර් ලෝක ළමා දිනයදා කොළඹදී හා තවත් ස්ථාන 5කදී ළමා නෙට්බෝල් කඳවුරු පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අඩි 6ට ආසන්න උසක් ඇති ක්‍රීඩිකාවන් සොයා දක්ෂතා හඳුනා ගැනීමේ ජාතික වැඩසටහනක් මේ වසරේදී ක්‍රියාත්මක කෙරෙන අතර 2015 ආසියානු ශූරතාවලිය එහි ඉලක්කය වේ.

සැප්තැම්බර් මස අගදී ඔස්ට්‍රේලියානු ජාතික නෙට්බෝල් විශේෂඥවරියකගේ සේවය ලබාගෙන විනිශ්චයකාරිනියන්ගේ සංචිතයක් නිර්මාණය කිරීමට කටයුතු ‍යෙදේ.

මේ වසරේ අග භාගයේදී සිංගප්පූරුවේ නේෂන් කප් නෙට්බෝල් තරගාවලියට ජාතික කණ්ඩායම සුදානම් කරන අතරේ ලබන වසරේ ශ්‍රී ලංකාවේදී ආසියානු නෙට්බෝල් සංවර්ධන කණ්ඩායම් අතර තරගාවලියක් ද සංවිධානය කරන බව සම්මේලනය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා