අතක් බි‍ඳෙයි තෑගි ගොඩයි

අතක් බි‍ඳෙයි තෑගි ගොඩයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් එල්ල කරනු ලැබූ පන්දු පහරක් වැදීමෙන් අතක් බිඳී ගිය 11 හැවිරිදි චාලි සිල්වර්වුඩ් නමැති කුඩා දරුවාට තරගයෙන් අනතුරුව දෙපිලෙන්ම තෑගි ලැබීමේ පුවතක් වාර්තා විය.

සිය ගම් ප්‍රදේශයේ බෝනිමවුත් කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම අතර පැවැති සුහද පාපන්දු තරගය නැරැඹීමට ගොස් සිටිය දී ඔහු මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබිණි. චාලිගේ ගම් පළාතේ කණ්ඩායම වූ බෝනිමවුත් පිලෙන් ඔහුට පාපන්දුවක් තෑගි ලැබුණු අතර රියල් මැඩ්රිඩ් පිලේ රොනල්ඩෝ ඇතුළු සියලු ක්‍රීඩකයන් අස්සන් කල ජර්සියක් ද ඔහුට තෑගි ලෙස ලැබී තිබිණි.

පන්දුව වැදීමෙන් පසුවත් තරගයේ ඉතිරි මිනිත්තු 84ක කාලය පුරා පිටියේ රැඳී සිටිමින් තරගය නැරැඹූ එම දරුවා පසුව රෝහල් ගත කර තිබිණි. රෝහලේ දි කළ එක්ස්රේ පරික්ෂණයකින් අනාවරණය වූයේ ඔහුගේ අතෙහි මැණික් කටුව අසළ අස්ථි බිඳීම් දෙකක්ම සිදුවී ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා