ඇමැති පිල ආදිවාසීන්ට පරදී

ඇමැති පිල ආදිවාසීන්ට පරදී

ආදිවාසී දිනය සමරමින් මහීපාල හේරත් ජන සහන පදනම, කෑගල්ල යෙලෝබර්ඩ් ක්‍රීඩා සමාජය එක්ව සංවිධාන කළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ආදිවාසී කණ්ඩායම සමත්විය.

කෑගල්ල නගර සභා පිටියේදී පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආදිවාසී පිල නියමිත ඕවර 6 තුළදී කඩුලු 3කට ලකුණු 52ක් රැස්කළ අතර පිළිතුරු ලෙසින් සබරගමු මහ ඇමැති කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 50ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවු මහතුන් කැකුළා ඕවර 2කදී ලකුණු 6කට කඩුලු 5ක් දවාගත්තේය. තරගාවලිය ආරම්භ කරමින් මහ ඇමැති පිල හා ආදිවාසී කණ්ඩාම අතර පැවැති පළමු තරගය ලකුණු 41කින් ජයගැනීමට මහ ඇමැති පිල සමත්විය.

දෙවැනි තරගය ආදිවාසී පිල සහ කෑගල්ල නගරාධිපති පිල අතර පැවැත්විණි. එහිදී ලකුණු 8ක ජයක් හිමිකර ගැනීමට ආදි වාසී පිලට හැකිවිය.

ආදිවාසී පිල ඌරුවරිගේ හීන්බණඩා මෙහෙයවු අතර මහ ඇමැති කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද, කෑගල්ල නගරාධිපති පිල ජී.කේ.සමරසිංහ මහතා ද නායකත්වය දැරීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා