ක්‍රිකට් තරගයකට සහභාගීවීමට පාකිස්තානය කළ ඇරියුම තලේබානුවෝ ප්‍රතික්ෂේප කරති

ක්‍රිකට් තරගයකට සහභාගීවීමට පාකිස්තානය
කළ ඇරියුම තලේබානුවෝ ප්‍රතික්ෂේප කරති

පකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමති චෞද්‍රි නිසාර් අලි ඛාන් විසින් ක්‍රිකට් තරගයක් සඳහා සහභාගිවන ලෙස තලේබානුවන්ගෙන් කරන ලදඉල්ලීමක් ඔවුන් පෙරේදා ප්‍රතික්ෂේප කළේ ක්‍රීඩාව තරුණ කොටස් ජිහාඩ් අරමුණෙන් ඈත් කරන බව පවසමිනි.

පකිස්තාන් රජය හා තලේබානුවන් අතර සාකච්ඡා බිඳවැටීමට තුඩුදුන් තලේබානු‍වන්ගේ පකිස්තාන හමුදා ඝාතන සිද්ධියට ගොදුරුවූ සෙබළකුගේ පියා සිය පුතුගේ මරණය අසා කම්පාවට පත්වූ අයුරු.

ඇමතිවරයා මේ ඉල්ලීම සිදුකර තිබුණේ අත්හිටුවී ඇති සාම සාකච්ඡා යළි පණ ගැන්වීමේ උපායක් වශයෙනි.

මේ මස මුලදී පකිස්තාන රජය තලේබාන් සංවිධානය සමග විධිමත් සාකච්ඡා වටයක් අරඹන ලද මුත් සටන්කාමින් විසින් කලින් පැහැරගෙන යන ලද සෙබළුන් 23 දෙනකු ඝාතනය කිරීමේ හේතුවෙන් එය අත්හිටුවිණ.

සෙබළුන් ඝාතනයට පලිගැනීමක් වශයෙන් හමුදාවද ඇෆ්ගන් දේශසිමාබද තලේබාන් රැකවරණ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී.

එහෙත් තලේබානුවන් ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩාව යොදාගැන්මෙන් යළිත් සාම සාකච්ඡා පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇතිකර ගත හැකි බව අලිඛාන් ගේ අදහස විය. "තලේබානුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදිකමක් දක්වන බවට මට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන දැඩි අවධානයකින් පසු වෙනවා.

ඒ අනුව මගේ ඉල්ලීම ගැන ඔවුන් අවධානය යොමු කළොත් යහපත් ප්‍රතිඵලයක් අත්විය හැකි වන ලෙස ඔවුන් සමග ක්‍රිකට් තරගයක් පැවැත්විය හැකි යැයි ඉස්ලාමාබාද‍යේ දී පැවති ප්‍රදර්ශන තරගයකින් පසු ඇමතිවරයා වාර්තා කරුවන්ට පැවසීය .

එහෙත් තලේබාන් ප්‍රකාශක සහිදුල්ලා ෂාහිද් දුරකතන මගින් වාර්තා කරුවන්ට පවසා ඇත්තේ එවන් ක්‍රීඩාවකට එක්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවය. "මේ අනාගාමික පුද්ගලයන්ට අවශ්‍යව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව මගින් අපේ තරුණයන් ජිහාඩ් සංකල්පයෙන් හා ඉස්ලාමිය උගැන්වීම්වලින් ඈත්කිරීමයි.

අප ක්‍රිකට් ක්‍රීඩාවට විරුද්ධයි. අකමැතියි"යනුවෙන් ඔහු කියා තිබේ. ඒ සමගම අගුළුවැටී ඇති රජයේ සාම සාකච්ඡා ක්‍රියාවලිය පණ ගැන්වීමට තමන් සූදානම් බවත් රජය මේ සම්බන්ධයෙන් අවංකව කටයුතු නොකරන නමුත් තමන් ඊට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා