ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිට කන්දෙන්න!

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිට කන්දෙන්න!

ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමුළුවට සහභාගි වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉතා වැදගත් අදහස් කිහිපයක් පළ කර තිබේ. පළමුවැන්න; පැවැති කොංග්‍රස් ආණ්ඩුව මෙන් භාරතීය ජනතා පක්ෂය බටහිරට ගැති නොවන බව ය.

දෙවන්න 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවබෝධාත්මක වැඩපිළිවෙළක් රාජ්‍යයන් දෙකට ම ඇති බව ය. තෙවන්න තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ කිසිදු අයිතියක් නැති බව ය. ජයලලිතාගේ මතය මහජන මතය නොවන අතර අවශ්‍ය අවස්ථාවක දී ජයලලිතා නම්‍යශීලී කර ගැනීමේ හැකියාව ඉන්දියාවේ මෝදි ආණ්ඩුවට ඇති බවත් සුබ්‍රමනියම් ස්වාමි මහතා තවදුරටත් කියා සිටී.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි යනු මෝදි ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ඒවා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ බලවතෙකි. භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්ය කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු හඳුන්වනු ලැබේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එහි වගන්තිවලින් 90% ක් ක්‍රියාත්මක කොට අවසන් බව ඉන්දීය ආණ්ඩුව පිළිගනී.

ඉතිරි 10% ක ප්‍රමාණය කෙමෙන් ඉටුකිරීමට නියමිත ය. පළාත් සභා සම්බන්ධයෙන් පවතින ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්තිය ක්‍රියාත්මක කළ යුතු කාලය තව ම පැමිණ නැති බව ද ඉන්දියාව පිළිගනී. රටවල් දෙක ම මේ පිළිබඳ සාකච්ඡා කරන බව ද ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා කියයි.

මේ වනා හී ඉතා හොඳ තත්ත්වයකි. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් පරීක්ෂණයේ දී දකුණු ආසියානු කලාපයම එක ස්ථාවරයක සිටී. ඊට අවශ්‍ය පූර්වාදර්ශය ලබා දුන්නේ මෝදි ආණ්ඩුවයි. මේ පරීක්ෂණයේදී ඉන්දියාවේ සිට සාක්ෂි විභාග කිරීමට මෝදි ආණ්ඩුව එකඟ වූයේ නැත.

එම ආදර්ශය අනෙකුත් රටවල් ද ලබා ගත්තේය. මෙබඳු පරීක්ෂණයකට සහාය ලබාදීම යනු කලාපීය දේශපාලනයට පිටස්තර බලවේග ඇතුළත් කරගැනීමකි. එය කලාපීය වශයෙන් සියලු රටවලට අහිතකර ය. අනෙක් අතින් කලාපීය බලපතා වූ ඉන්දියාවට එහි අවදානමක් ද පෙනෙන්නට ඇත. අගමැති මෝදි දුරදක්නා දේශපාලන ඥානයකින් යුතු ව කටයුතු කරන බව පෙනෙයි.

පැවැති කොංග්‍රස් ආණ්ඩුව බොහෝ අවස්ථාවල දී බටහිරට ගැති වූ බව ඉතා පැහැදිලි ය. සිය අසල්වැසියා අමතක කොට බටහිර බලවත් රාජ්‍යයන් පිනවීම සඳහා ද, ප්‍රාන්ත ආණ්ඩුවල බලපෑමෙන් මිදීම සඳහා ද කොංග්‍රස් ආණ්ඩුව ශ්‍රී ලංකාවට පාඩු සිදුවන දේශපාලන තීන්දු ගණනාවක් ගත්තේ ය.

එවකට ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය ද, ඔහුගේ දුර්වල ආණ්ඩුව ද ඊට බලපාන්නට ඇත. මානව හිමිකම් කොමිසමේ දී පැවැති ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණය පිළිබඳ ඡන්ද විමැසීමේ දී මේ තත්ත්වය හොඳින් පැහැදිලි විය. මෙබඳු අවස්ථා ගණනාවක දී ඉන්දියාව වැරැදි තීන්දු ගත්තේ ය. එම හේතුව නිසා දෙරටේ මිත්‍රත්වය හා දේශපාලන සම්බන්ධය යම් පමණකින් පලුදු විය.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉන්දියාව ගත් සෑම වැරැදි තීරණයක් ම දැඩි ලෙස විවේචනය කළේ ය. ඒ මහතාගේ ස්ථාවරය වෙනස් වී නැත. ඔහු එදත් - අදත් ජාතිවාදයට විරුද්ධ ය. ඔහු එදත් - අදත් ත්‍රස්තවාදයට විරුද්ධ ය. තමිල්නාඩුවේ ප්‍රාන්ත ආණ්ඩුව ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා හා බලපෑම් ද සුබ්‍රමනියම් මහතා ප්‍රතික්ෂේප ක‍රයි.

දෙරටේ දේශපාලන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව ද වඩාත් වැදගත් වන්නේ කලාපීය සාමය බවත් ඔහු විශ්වාස කරයි. ආචාර්ය මන්මෝහන් සිංට මෙන් ම ඔහුගේ ආණ්ඩුවට ද මේ යථාර්ථය තේරුම් ගත නො හැකි විය. කොංග්‍රස් පක්ෂයේ නායකයා මරා දැමූ එල්. ටී. ටී. ඊ. සංවිධානයට ඔවුන් ආදරය කරන්නට ඇත්තේ නො දැනුවත්කම නිසා විය යුතු ය.

නවනීදන් පිල්ලේ මැතිනිය මානව හිමිකම් පිළිබඳ තනතුරෙන් ඉවත් ව ගොස් තිබුණ ද ඇය විසින් පෞද්ගලික මැදිහත්වීම මත සංවිධාන කරන ලද පරීක්ෂණ කමිටුව ක්‍රියාත්මක ය. සිරියාවේ හා උතුරු කොරියාවේ දී සිදුවූ පිළිවෙළට රටෙන් බැහැර ව සිට පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය වන්නේ උතුරේ සාක්ෂිකරුවන් යුරෝපා රටකට රැගෙන ගොස් පරීක්ෂණ මණ්ඩලය වෙත භාර දීම ය. මේ මඟින් දෙමළ සන්ධානයේ පටු දේශපාලන අරමුණු ජයගත හැකි ය. එහෙත් ඉන්දීය ආණ්ඩුව මේ ක්‍රමයට විරුද්ධ ය. මෝදි ආණ්ඩුවේ ස්ථාවරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ය. එය නොවැදගත් කොට සලකනුයේ මෙරට විපක්ෂය පමණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමේ වුවමනාවක් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ද එම වුවමනාව තිබේ. දෙමළ ජාතික සන්ධානය අගමැති මෝදි හමුවීම සඳහා බලවත් පරිශ්‍රමයක යෙදෙන බව ද දැනගන්නට තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවේ සාක්ෂි දීමට සූදානමින් සිටින බව ද දැනගන්නට ලැබේ.

මේ සියල්ල එක ම සිදුවීම් මාලාවක විවිධ පියවර ලෙස හඳුන්වා දිය හැකි ය. සියල්ලන්ගේ ම අරමුණු හා ඉලක්ක දුවන්නේ එක ම දිශාවකට ය. එක අත්තේ වසන එක ම ජාතියක කුරුල්ලන් මෙනි. මේ අයගේ පොදු අරමුණ වන්නේ ආණ්ඩුව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීම ය.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමුළුවට සහභාගි වෙමින් මේ සියලු දෙනාට ම හොඳ පිළිතුරක් ලබා දී තිබේ. පත්තර භාෂාවෙන් කිවහොත් එය ආණ්ඩුවට එරෙහි අයට ගැසූ තද කම්මුල් පහරක් ලෙස හැඳින්විය හැකි ය. සුබ්‍රමනියම් ස්වාමි කියා සිටින්නේ විපක්ෂය මොනවා කීවත් මෝදි ආණ්ඩුව මහින්ද රාජපක්ෂ සමඟ සිටින බව ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා