සෞඛ්‍ය කණිෂ්ඨ සේවක වැඩ වර්ජනයෙන් රෝගීන්ට සිදු වූ අපහසුතා මඟ හැරවීමට හමුදාවේ සහාය

සෞඛ්‍ය කණිෂ්ඨ සේවක වැඩ වර්ජනයෙන් රෝගීන්ට සිදු වූ අපහසුතා මඟ හැරවීමට හමුදාවේ සහාය

රෝහල්වල සිදු කළ සෞඛ්‍ය කණිෂ්ඨ සේවක වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදු වන අපහසුතා මඟ හැරවීම සඳහා හමුදාවේ සහාය ලබාගෙන රෝහල් සේවාව යථා තත්ත්වයෙන් පවත්වාගෙන ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය පවසයි.

මේ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අපහසුතාවට ලක් නොවන පරිදි හමුදාවේ නිලධාරින් 150 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් සේවාවන් සඳහා යොදවා තිබූ බවත් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අපහසුතාවට පත් නොවන පරිදි සේවාවන් පවත්වාගෙන ගිය බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.

සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල නියෝජනය කරමින් වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කිසිදු පදනමක් නැති බවත් මේ වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට අපහසුතාවට පත් නොවන පරිදි රෝහල් සේවාව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය කටයුතු කළ බවත් සුධර්මා කරුණාරත්න මහත්මිය පැවැසුවාය.

ඉල්ලීම් පහක් මුල් කර ගෙන මේ වැඩ වර්ජනයට වෘත්තීය සමිති කිහිපයක් අවතීර්ණ වුව ද, ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට පසුගිය කාලය තුළදී වරින් වර අඳාළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඒ සඳහා උපරිම උත්සාහයක් ගත් බව ද ලේකම්වරිය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාහිරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ අඳාළ අනෙකුත් ආයතන සමඟ ද සාකච්ඡා කිරීමට මේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය කණිෂ්ඨ සේවකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී සමස්ථ රාජ්‍ය සේවයටම බලපාන පරිදි එම ක්‍රියාමාර්ගය රජය මඟින් ගත යුතුව තිබෙන බවත් එම නිසා 2015 වසරේදී රජයේ අයවැය යෝජනා තුළ මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදුකරන ලද බවට වෘත්තීය සමිති නායකයින් මීට පෙර දැනුවත් කළ බවත් ලේකම්වරිය පැවැසුවාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා