අන්තවාදය ඉවතදමා ජනපති දිනාදුන් දේශය සියලුදෙනා එක්ව රැකගත යුතුයි

අන්තවාදය ඉවතදමා ජනපති දිනාදුන් දේශය සියලුදෙනා එක්ව රැකගත යුතුයි

 - ඇමැති රාජිත සේනාරත්න

 ජාති - ආගම් අන්තවාදය ඉවතදමා, ජනාධිපතිතුමන් දිනාදුන් දේශය සියලු දෙනා එක්ව සිංහ ධජය සෙවණේ සමගියෙන් රැකගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

බේරුවල ආසනය එසේ සමගියෙන් ජනතාව ජීවත්වන නගරයක් බවත් පසුගිය පළාත් සභා මැතිවරණ දෙකෙහිදීම ජාති ආගම් භේදයකින් ‍තොරව සන්ධානයට තම ඡන්දය ලබාදීම බේරුවල ජනතාව සිදුකළ බවත් ඇමැතිවරයා කීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා බේරුවල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රට නගන නිල් පවුර මහා ජන හමුව අමතමිනි.

මෙම ජනහමුවට බේරුවල ආසනයේ ගරුතර මහා සංඝරත්නය 100ට අධික පිරිසක් සහභාගි වූ අතර කිතුණු හා ඉස්ලාම් පූජකවරු ද සහභාගි වූහ. මෙම සමුළුවට බේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික සාමාජිකාවන් 6000කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.

ඇල්බට් අයින්ස්ටයින් කියන ලෝකය වෙනස් කරපු, සාපේක්ෂතාවාදය ලෝකයට කියා දුන්න ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා කියනවා “මම අධ්‍යයනය කරලා තියෙන විඥාණවාදී දර්ශනවලින් වැඩියෙන්ම පිළිගන්න දර්ශනය තමයි බෞද්ධ දර්ශනය” කියලා.

බැසිල් ඇමැතිතුමා අපි ඔක්කොම එකට දේශපාලනයේ අත්පොත කියෙව්වේ 1967 ඉඳලා ආනන්ද මහා විද්‍යාලයෙන්. මේ ආපු කාලේ අපිට නොයෙකුත් තාඩන පීඩන ආවා. මට ඉස්සෙල්ලාම බෝම්බ වැදුණා.

ඒ එදා ජ. වි. පෙ. බෝම්බ ගැහුවා. මම සන්තෝස වෙනවා ජ. වි. පෙත් අද අපේ මතවාද පිළිගන්නවා. අපි දෙගොල්ලොම අද ජාතිවාදයට විරුද්ධයි. ඒ නිසා අපි දෙගොල්ලෝම එක ප්‍රතිපත්තියක ඉන්නවා. මට බෝම්බ ගහපු වේලාවේ මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවා උදේ පාන්දරම මාව බලන්න. මට ඒක තාම මතකයි. මේ තමයි එතුමාගේ මනුස්සකම. අපේ දිවි නැඟුම එන්නේ බැසිල් හරහා. මේ ඔක්කොම ප්‍රතිපාදන ඇවිල්ලා අන්ත අසරණ දුප්පත් පවුලට කටුමැටි ගෙදරට සල්ලි ලැබෙන්නේ මෙතුමාගේ දිවි නැඟුම හරහායි. ඒ මහින්ද චින්තනය අර්ථ දැක්වීම කරගෙන එතුමා ගමින් ගමට යනවා. මම මේ ආසනයට ඇවිල්ලා තියපු මුල්ම ආසන බල මණ්ඩලයට පැමිණියෙත් බැසිල් ඇමතිතුමයි.

අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මම පිළිගන්නවා. මම එජාපයේ ඉන්න කොටත් අපි සුහදව දේශපාලනය ගැන කතා කළා.

මහින්ද අමරවීර ඇමතිතුමයි, මමයි ඒ කාළේ ටී. වී. එකේ දෙපැත්තේ වාඩි වෙනවා. දැන් ඉන්න අය වගේ නෙවෙයි ඔහු එදා සියලු දේ ගැන පැහැදිලිව හදාරලා අපි එක්ක වාදයට ආවා. අද අපි දෙන්නම එකට ටී. වී. එකේ කථා කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන්. අද ලංකාවේ ආපදාවක් ආවම විශේෂයෙන්ම ධීවරයන්ට ආපදාවක් ආවම අපි දෙන්නා බෙදාගෙන ඒ ධීවරයන්ට බඩු බෙදාදෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂවරුන්ගෙන් පිට එකම ඇමතිවරයා.

ඒ වගේම නියෝජ්‍ය කථානායකතුමා, ලස්සනට විනයක් ඇතුව පාර්ලිමේන්තුව ගෙන යනවා. එතුමව අඳුනන්නේ එතුමගේ මාමා අමරසිරි දොඩම්ගොඩ මැතිතුමාගේ ඇවෑමෙන්.

අද මට නොයෙකුත් තැන්වලින් පහර දෙද්දී, බුද්ධ චීවරය නාමයෙන් ඇතැමුන් අපිට අභූත චෝදනා කරද්දී, ඒ කිසි එකක් පිළිනොගනිමින් කිහිපයක් විහාරස්ථාන හැර බේරුවල සියලු විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගේ අශිර්වාදයෙන් අද 100කට වැඩි භික්ෂූන් වහන්සේලා මෙතනට පැමිණියා. ඒ එක්තරා පණිවිඩයක් කියන්න. උන්වහන්සේලාට මම ආපු දවසේ ඉඳල හැම විහාරස්ථානයකටම කරන්න පුළුවන් හැමදේම කළා. මම හැමදාම කියන එකක් තමයි මේ විහාරස්ථානවලට ඩොලර් නැහැ. යූරෝ නැහැ. තියෙන්නේ අපේ රුපියල් සත. ඒ නිසා පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ රුපියල් සත වියදම් කළ යුතුයි. අපේ ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්න ඕන පක්ෂ පාට පැත්තක තියලා.

රජයට විරුද්ධ විශාල මහා ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන යද්දී මවුලවිතුමාලා, ක්‍රිස්තියානි පූජකතුමාලා අපි එක්ක හැමදාම එකට වැඩ කරනවා.

බැසිල් ඇමතිතුමනි මේ ආසනය තමයි අපේ කාදිනල්තුමා බිහි කරපු ආසනය. මේ ආසනය බොහොම සමගි ආසනයක්. ගියවර පළාත් සභා දෙකේම සන්ධානයට ඡන්ද අඩුවෙද්දී මේ ආසනය තමයි වැඩි ඡන්ද සංඛ්‍යාවකින් වැඩි වුණේ. මොකද මේ ආසනයේ මුස්ලිම්වරු මුස්ලිම් කොන්ග්‍රසය පැරැද්දුවා. මෙය අපි ආරක්ෂා කරන්න ඕන. මේ ජාති දෙකේම පිරිස ශ්‍රී ලංකා ධජය යටතේ එක් වුණාම තමයි එක්සත් ශ්‍රී ලංකාවක් බිහිවන්නේ. ඒ නිසා ජාතිවාදී ආගම්වාදී මොන ප්‍රශ්න තිබුණත් මෙයට එරෙහි මේ ගමන යන්නට අපිට ආත්ම ශක්තිය තියෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මම මේ සම්මේලනයට ආවේ එක විශේෂ හේතුවක් නිසා. ඒ තමයි අපේ පක්ෂයේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත්, මමත් පෞද්ගලිකව රාජිතට දක්වන ගෞරවයක් ලෙසයි මේ සම්මේලනයට ආවේ. අපි දන්නවා රාජිත ඇමතිතුමා පැහැදිලි කළා අපි අතර තියෙන සම්බන්ධය. එතුමාත්, එතුමාගේ පවුලත්, අපිත්, අපේ පවුල් අතරත් බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා.

‍මම මේ බේරුවල ආසනය ගැනත් කියන්න ඕන. බේරුවල ආසනය කියන්නේ විශේෂයෙන්ම සියලු ආගම්, ජාතීන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයක්. ඒවගේම මේ ආසනයත් ශ්‍රී. ල. නි. පක්ෂයත් බොහොම ඈත සම්බන්ධයක් තියෙන මැතිවරණ කොට්ඨාසයක්. ජනාධිපතිතුමත්, රාජපක්ෂවරුත්, අපිත්, ආණ්ඩුවත්, බේරුවලත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා.

ගෙවීගිය කාලය තුළ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ යුග පරිවර්තනයක් කළා. එය මේ රටේ සියලුම ජනතාව හොඳින් දන්නවා. මේ නිසාම රට පුරාම සිටින ජනතාව අපේ මේ සම්මේලන හරහා අපේ පක්ෂය වටා දස දහස් ගණනින් එක් රොක් වෙනවා” යැයි පැවසීය.

මෙහිදී ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් පාරිසරික අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත, ප්‍රසන්න සංජීව, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහත්වරු ඇතුළු නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරුන් ද සහභාගි විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා