මැදපෙරදිග රටවල දී අගතියට පත් ශ්‍රී ලාංකිකයන්ට ලක්ෂ 138ක වන්දි

මැදපෙරදිග රටවල දී අගතියට පත් ශ්‍රී ලාංකිකයන්ට ලක්ෂ 138ක වන්දි

රැකියා සඳහා පිටත්ව ගියපසු විවිධ හේතූන් මත මැද පෙරදිග රටවල දී මියගිය සහ වැටුප් නොලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 138 ක (13,855,045.93) මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කරයි.

මැද පෙරදිග සේවය කරමින් සිටිය දී මියගිය මෙන්ම වැටුප් සහ අනෙකුත් දීමනා නොලැබූ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (20) සිදුකෙරිණි.

කුවේට්, කටාර් සහ සෞදි අරාබියාව ඇතුළු මැද පෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයන්  පිරිසක් වෙනුවෙන් මේ වන්දි මුදල් ප්‍රදානය කළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මැදිහත් වීම මත එම වන්දි මුදල ඒ ඒ රටවලින් ලබා ගැනීමට හැකිව තිබේ.

මෙලෙස විදේශ රටවල රැකියා සඳහා පිටත්ව ගිය පසු විවිධ හේතූන් මත මියයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඒ ඒ රටවල සේවා ආයතනවලින් සහ ස්වාමිවරුන් විසින් වැටුප් නොගෙවන පිරිස් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ වන්දි මුදල් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශය මැදිහත් වී තිබෙන අතර ඒ අනුව උපරිම වන්දි මුදලක් ලබාගැනීමට ඒ මඟින් හැකියාව ලැබී ඇත.

මෙහිදී අඳහස් දක්වමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ මියගිය සහ වැටුප් නොලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙහිදී වන්දි මුදල් ප්‍රදානය කරන බවත් එම වන්දි මුදල ඒ ඒ රටවලින් ලබාගෙන තිබෙන බවත්ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ ඒ රටවල් සමඟ දක්වන සුහඳතාවය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ කැපවීම මත මෙවැනි වන්දි මුදලක් ලබාගැනීමට හැකිව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව මෙන්ම විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතා සළකා විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශය සෑම දිනෙකම පෙරවරු 6.30 ට විවෘත කරන බව සිහිපත් කළ නියොමාල් පෙරේරා මහතා වසර දෙකහමාරක කාලයක සිට එම ආයතනය මඟින් මෙලෙස සේවය ලබාදෙන බවද කීවේය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාව සහ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් සිතා බලා මේ කාර්යය සිදුකරන බවයි.

මෙලෙස ලබාගත් වන්දි මුදල මහාභාරකාර දෙපාර්තමේන්තුව හරහා ඒ ඒ ශ්‍රමිකයන් වෙනුවෙන් බෙදා දෙන බවද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා