ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරනවා

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජපානයේ ‍ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන සහ සංචාරක නියෝජ්‍ය ඇමැති මනාබු සකායි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (19) හමු වූ අවස්ථාව. ඡායාරූපය- සුදත් සිල්වා

යුද ගැටුම්වලින් පසුව ශ්‍රී ලංකාව සංහිඳියාව සහ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජපානයේ ‍ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන සහ සංචාරක නියෝජ්‍ය ඇමැති මනාබු සකායි මහතා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (19) හමු වූ අවස්ථාවේ දීය. පශ්චාත් යුද සමයේ සිදු වන සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා දැනුවත් කළේය.

අත්‍යාවශ්‍ය සෑම අවස්ථාවකදීම ජපානය ශ්‍රී ලංකාවට සහාය දෙන බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මට්ටමින් ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව දක්වන සහයෝගය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කළේය.

තම ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී කොළඹ ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම භාර දීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය ඇමැති මනාබු සකායි මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි බව  නියෝජ්‍ය ඇමැතිවරයා පැවසූ අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතාව මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඩිජිටල් සන්නිවේදනය සහ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රවලදී ජපානය සමඟ සහයෝගිතාවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජපාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා ඇතුළු ජපාන නිලධාරීන් පිරිසක් ද විදේශ කටයුතු පිළිබඳ ඇමැති ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ශේනුකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා